තාගෝර් ගුරු දේව වන්දනාවෙන් ඔබ්බට

facebook_1491462768232

ගුරු දේව වන්දනාව විසින් ඔසවා තිබූ රබින්ද්‍රනාත් තාගෝර් උස්සා පොළවේ තැබූ කෘතියත් ලෙස එරික් ඉලයප්ආරාච්චි ගේ තාගෝර් ආදරවන්තයාගේ කතිකාව දැක්විය හැකිය. සමාජයේ පවතින සරල කියවීම වන්නේ තාගෝර් යනු වන්දනීය පුද්ගලයකු යන්නය. ඇත්තෙන්ම එය එසේ නොවේ. ඔහු පිදුම් ලැබිය යුතුය. ඒ ඔහුගේ චරිතය නිසාවෙන් නොව ඔහු තම ලිපි සහ කෘති හරහ කරනු ලැබූ සමාජ මෙහෙවර නිසාවෙනි. පොත හදුන්වා දෙනු ලබන පසුපස කවරයේ සටහන ඊට හොද ගමන් මගක් සපයා දී තිබේ.
” ඉන්දියාව විසින්ම වර්ධනය කෙරුනු තාගෝර් පිළිබද විචාරයේ දැවැන්ත පරිමාව නොදැක හාසයොත්පාදක ලෙස ගැයෙන බොල් ප්‍රශස්ති සහ පුනුරුච්චාරණ වෙනුවට නවකතා කරුවකු කෙටිකතාකරුවකු ලෙස ඔහුගේ ශේෂ්ඨත්වය තහවුරු කෙරෙන කෘතියකි.”

අනු කොටස් 25 යටතේ සාකාච්චා කරනු ලබන තාගෝර් දිවිය ඔහුගේ විශිෂ්ටතම ලේඛන ඔස්සේ කරනු ලබන විග්‍රහය හරහා පාඨකයා වෙත නවමු කියවීමක් වනවා නොඅනුමානය. ඇත්ත වශයෙන්ම ඉන්දියාව ඇතුලු සමස්ථ ආසියාවම වෙලාගෙන පැවති අන්ධ විශ්වාශයන් මෙන්ම පසුගාමී ආකල්ප තාගෝර්ගේ දැඩි විවේචනයකට ලක් වීය. ඔහු හින්දු සම්ප්‍රදාය වෙනුවට නූතනත්වය අගය කරනු ලැබූ මිනිසෙකි.    ඔහු තම ලේඛන වලින් පාඨකයන්ට නූතන්ත්වය වැළද ගැනීමට ආරාධනා කලේය. නමුත් බහුතර පාඨකයන් එය වටහා ගැනීමට සමත් නොවූ බවක් වර්තමානය වන විට අපට දැක ගත හැකිය. ඔහුගේ වර්තමාන පරපුරේ ලේකකයන් වන අරුන්දති රෝයි වැන්නවුන්ට එල්ල වන චෝදනා තේරුම් ගැනීමේදී ඒ තත්වය වටහා ගැනීමට අපහසු නොවුනු ඇති. පොතේ එක් තැනක වන පහත පාඨය තුලින් එය තවත් තහවුරු වනවා ඇති.
“ගෝරා නවකතාව මේ කාලයේ රචනා වී බුකර් සම්මානය දිනාගත්තේ නම් තාගෝර් විජාතිකයන් පිනවීම සදහා පොතපත ලියන ලේඛකයකු ලෙස විවේචනයට පාත්‍ර වෙයි” (පිටුව 148).

තාගෝර්ගේ විශිෂ්ටතම නවකතාව ලෙස සැලකින ගෝරා කෘතිය මෙම පොත තුල ඉතා ගැඹුරින් විග්‍රහයට ලක් කෙරේ. හින්දු සමාජය තුල සිර වී සිටි ගෝරා ඉන් ඉවතට ගනු ලබන තාගෝර්ගේ ප්‍රගතිශීලී ලේඛන විලාශය එරික් ඉලයප්ආරාච්චි ඉතා ගැඹුරින් මෙම කෘතිය තුල දක්වා ඇත. තවද ඇතම් ස්ථාන වලදී එහි ඇති දෝෂ පවා වඩා විග්‍රහත්මකව විස්තර කොට තිබේ.  ඉන්දීය නිදහස් සටනේ කොටස්කරුවන් තුල වූ දෙබිඩි ලක්ෂණ පව මෙහෙදී දක්වා තිබේ. එය ඉන්දියාව පමණක් නොව බොහෝ සමාජ ක්‍රියාකරීන් ප්‍රශ්න කරවනු ලබන තැනකි.
“බාහිර වශයෙන් සමාජ දේශපාලනික ජීවීතයේදී ප්‍රබුද්ධතාව පිළිගත් ඔවූහු රහසේ තම බිරිඳ, දරුවන සහ ආදරය පිළිබද කාරණාවලදී බාහිර ලෝකය සහ නිවස අතර පරතරය පවත්වා ගෙන යන ආකාරයේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කලෝය.” (පිටුව 166)

මෙම කෘතිය තාගෝර් පිළිබදව මෙන්ම ඔහුගේ කෘති නැවත කියවා ගැනීමට පාඨකයන්ට ආරාධනා කොට ඇත. එමෙන්ම මෙම කෘතිය හරහා අපට ඉන්දීය නිදහස් අරගලයට දායක වූවන්ගේ දර්ශනයේ තිබූ දැක්ම සහ අප නිදහස් අරගලයේ නායකයන්ගේ දැක්ම පිළිබද සංසන්දනාත්මකව සිතා බැලිය හැක.

මෙය විදර්ශන ප්‍රකාශනයකි.

07.06.2016

මාගම් සෝලිය : කුහක සුචරිතවාදින්ගේ නිරුවත ඔවුන් ඉදිරියේම දිග හැරීම.

Magam Soliya-Moha Raj Madawala

මාගම් සෝලිය සහ මොහාන් රාජ්  මඩවල විසින් රචිත කෘති තරමට පසුගිය වසර දෙක තුනක කාලය තුල කතාබහට ලක්වූ ලේඛකයකු නොමැති තරම් යැයි කීම අතිශොක්තියක් නොවේ.සිය පලමු නවකතාවෙන්ම පාඨකයා දැවන්ත ලෙස ආකර්ශනය කර ගත හැකි වේ නම් එය කතුවරයකු ලබන මහත්ම උත්තේජනයකි. මාගම් සෝලිය රචනා කල මොහාන් රාජ් මඩවල මහතාද එම භාග්‍ය ලද්දෙකි.ඉන් ලද පන්නරය මත ඔහු විසින් රචනා කරන් ලද ලොවිනා මෙන්ම ආදරණීය වික්ටෝරියා යන කෘති ද්විත්යද පාඨක මෙන්ම විචාරකයන්ගේද නොමද පැසසුමට මෙන්ම දරුණු විවේචනයට ලක් විණ.බොහෝ දෙනා කථා කරනු ලබන්නේ ඔහු තම කතා ඉදිරිපත් කිරීමේදි ඔහු යොදා ගනු ලබන ශානරයයි. ඒ පිලිබදව ඔහු මාගම් සෝලිය කෘතිය ආරම්භයේදී යම් පැහදිලි කිරීමක් කර ඇති බව පෙනී යයි.

“කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලා කරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි”.
                                              -කල්පනා ලෝකය-
                                                            මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

ඔහු රචනා කරන ලද කෘති ත්‍රිත්වයම ඉතිහාසය විෂය කොට ගත්තකි. ඉතිහාසය වනාහි පසුගිය දශකයක් කාලය දෙස නැවත හැරී බැලීමේදී වඩාත්ම මතභේදයට තුඩු දෙන ලබන මතෘකාවකි.ඉතිහාසය තරමට උත්කර්ශයට නංවන ලද තවත් වචනයක් පසුගිය දශකයේ නොවින. කලාකරුවන් විසින් තම බඩ වඩා ගැනීමේ චේතනාවෙන් යුතුව නරුම පාලකයන්ව බුදුන්ගේ නෑදෑයන් කරවන නිර්වචනය කිරීමේදී තම හෙලුව වසා ගනු ලැබුවේ මේ ඉතිහාසය නම් වූ කඩතුරාවෙනි.  මාගම් සෝලිය රචනා කර ඇත්තේ කතුවරයාම හදුන්වා දෙන පරිදි ක්‍රි.ව 1809 ත් 1819 ත් කාලය වස්තු විශය කොට ගෙනය. ඇත්තෙන්ම එම කාලය මෙරට ඉතිහාසයේ සුවිශේෂි කාල පරිච්ඡේදයකි.එක් පසකින් එය වසර දෙදහස් ගණනක මෙරට රාජවංශික පාලනය අවසන් කිරීමක් සේම එය මෙරට අද අප විසින් භුක්ති විදින නිදහස් ප්‍රජාත්‍රන්ත්‍රික වටපිටාව නිර්මානය කිරීමේ ඇරඹුමද විය. පසුගිය දශකයක කාල සීමව යොදා ගනු ලැබුවේ ඉතිහාසය උත්කර්ශයට නංවමින් අප සමාජය නැවතත් එම වහල් ක්‍රමය වෙත රැගෙන යාමේ ව්‍යාපෘතියකි.  ඔහු සිය කතාව ඉදිරිපත් කරනුයේ උඩරට ඉංග්‍රීසින් හට භාර දීමත්, 1818 ඇති වූ කැරැල්ලත් අතර කාල සීමවේ ඌව වෙල්ලස්ස ගමක සිදු වී වූ සහ සිදු නොවූ සිද්ධි ගනනාවක කතාවකි. මෙය  යථාර්ථවාදී රීතිය ඉක්මවා අධියථාර්ථවාදී රීතිය පදනම් කොට ගෙන රචනා වූවකි. කෘතිය පුරාම පාඨකයා රදවා ගනිමින් එම රීතිය ඔස්සේ කතාව ගොඩනැංවීමෙහිලා ඔහු දක්වන උත්සහය ඉතා ප්‍රශංශනියය.එවැනි අධියථාර්ථවාදී සිදුවීම් ඔහු ඉදිරිපත් කර ඇති ආකාරයද ඉතා රසවත්ය.ඇබිත්ත උන්වහන්සේට දාව සොබනිට බිහි වූ නිවුන් දරුවන් උපන් මොහොතේ ඒ පිළිඹදව කතුවරයා කරනු ලබන විග්‍රහය ඒ සදහා සාක්ෂි සපයනු ලබයි.

“නිවුන් දරුවන් වුවත් ඔවුන් අතර කිසිම සමාන කමක් තිබුණේ නැත. ගැහැනු දරුව සිහින් කෙසග වුවත් පිරිමි දරුව පෘශ්ඨිමත් විය.එසේම සපුමලී සිනාසෙන විට හීන් සුරඹා ඇඩුවේය. හීන් සුරඹා නිදාගන්න විට සපුමලී ඇහැරී සිටියාය. සපුමලී වම් ඇලයට හැරෙන විට හීන් සුරඹා දකුණු ඇලයට හැරුණේය.හීන් සුරඹා උඩ බලාගෙන කෑ ගසන විට සපුමලී බිම බලාගෙන නිශ්ශබ්දව සිටියාය.” (පිට 166)

කතාවේ එන සිදු වීම කොතරම් අධියථාර්තවාදි වුවත් එම සියලු සිදුවීම් හා පුද්ගලයන් ඔස්සේ කතුවරයා එම කාල වකවානුව තුල එවක සමාජයේ මිනිසුන්ගේ දිවි පැවතුම්, සමාජ සබදතා සහ එමෙන්ම එම කාලාඡේදය පුරා රට තුල වූ සිදුවීම් ඉදිරිපත් කිරීමේ දී කතුවරයා දක්වන දක්ෂතාවය, ඉතිහාසය පදනම් කරගෙන වර්ථමානයේ බිහි වන කෘති අතික්‍රමනය කිරීමට මොහාන් රාජ් සමත් වී ඇති බවක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම මනුෂ්‍ය ජීවිත වල ඇතුල් පැත්ත නිරාවරනය කිරීමෙහිල ඔහු දක්වන වින්‍යාසය බොහෝ සුචරිත වාදින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.එසේ වූයේ ඇයි ?. බොහෝ සුචරිත වාදින් සුදු රෙදි කඩකට මුවා වී ගෙවනු ලබන්නේ අසික්කිත ජීවිත රටාවකි. ඔවුන් පොහොයට සිල් ගනී නමුත් කාන්තා කකුලක් දුටු විට තිගැස්සේ. ඔවුන්ගේ එම දෙබිඩි ජීවන රටාව කවරකු හෝ ඉදිරිපත් කරන විට ඔවුන් කුපිත වේ. මෙරට බොහෝ කලා කෘති සම්බන්ධයෙන් මෙම තත්වය උද්ගත විය. මෙම කෘතියේ එන චරිත කියවීමේදී ඔවුන්ගේ ජීවිතයේ සැගවුන යටි පැත්ත ඔවුන් ඉදිරියේම දිග හැරෙනා විට ඔවුන් තිගැස්මකට ලක් වී කෘතිය වෙත මරාගෙන මැරෙන විරෝධයක් එල්ල කරනු ලබයි.

ඒකාකරී ශෛලයන්ගෙන් යුතු නවකතා ගොන්නක් ලියවෙන යුගයක මාගම් සෝලිය වැනි නවකතාවක් සිංහල නවකතාවට එක් කිරීම පිලිබදව කතුවරයා වෙත අප ගෞරවය හිමි විය යුතුමය. කුහක සුචරිතවාදිගෙන් එල්ල වු පටු විරෝධයන් හට ඔහු එල්ල කරනු ලැබුවේ තවත් නවකතා ද්විත්වයකි.ලොවීනා සහ ආදරණිය වික්ටෝරියා යන කෘති ද්විත්වයද එම කුහක සුචරිතවාදින් හට එල්ල කල අකුල් පහරක් වැනිය.මේ සදහා පහත වන නාපටවල ධම්මානන්ද හිමි කල ඇති විචාරය ඉතා විශිෂ්ඨය.
“මාගම් සෝලිය නවකතාවේ කාමය සහ රාගය ප්‍රධාන තැනක ලා විශ්ලේෂනය කෙරේ. සිද්ධාර්ථ – යශෝධරා සම්මත ආදර කතාව සේම සහෝදර සහෝදරියන් වූ සිංහබහු – සිංහසීවලි අසම්මත කතාවද අප ඉතිහාසයේ අසා තිබේ. වෙස්සන්තර -මන්ද්‍රී දේවි සම්මත ආදර කතාව සේම විජය කුවේණිගේ දරුවන් වු ජීවහත්ත ලා අසම්මත කතාවද අප අසා තිබේ.එබැවින් සම්මතය හා අසම්මතය වූ කලී අපේ ඉතිහාසය පුරා පැවත එන්නකි.”

Photo :Boondi.lk

කසුන් ප්‍රනන්දු
31/07/2015

එරික් ඉලයප් ආරච්චි ගේ පාද යාත්‍රා ගැන කෙටි සටහනක්.

combine_images

2014 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තෙරී පත් වූ එරික් ඉලයප් ආරච්චි ගේ පාද යාත්‍රා වෙනස්ම ආකාරයේ නවකතාවකි, මතුපිට ඉතා සරල භාෂාවකින් විකාශනය වෙන මෙහි ඇතුලත කතාව හරහා සමාජ දේශපාලන කරුණු ගණනාවක් කතුවරයා විසින් ප්‍රශ්න කිරීමකට ලක් කරනු ලබයි. එම ප්‍රශ්න කිරීම් අද දවසේ බොහෝ කතුවරුන් විසින් උවමනාවෙන්ම මගහරිනු ලබන තත්වයකි.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයත් සමග ආරම්භ වන කතාව තුලින් මූලිකම ලෙස කතුවරයා දක්වා සිටින්නේ අප සමාජය ව්‍යසනයකදී පවා තම අභ්‍යන්තරයේ ඇති කුහක ලක්ෂන වලින් මිදීමේ හැකියාවක් නැති සමාජ කොට්ඨාශයක් බව අප වෙත පසක් කර දේ.මෙම ව්‍යසනය අතරතුරදී තම හතුරන්ගෙන් පලිගැනීම, කෙසේ හෝ ජීවිතය බේරා ගත්තවුන් අනෙකාගේ දේ මංකොල්ලා කෑම වැනි දේ මෙම කතාව තුල ඉස්මතු කල ඇති ආකාරය කිසිවෙකුටත් අතිශෝක්තියක් යැයි පැවසිය නොහැකිය. අප එම තත්වය අප රට ව්‍යසන වලට මුහුන දුන් ආකාරය නිරීක්ශනය කිරීමේදි දැක ගත හැකිව තිබූ තත්වයකි. ඊට උදාහරණ ලෙස 1983 කළු ජූලිය, 1988/89 භීෂණ තත්වයන් තුලදී සමාජය හැසිරුණු ආකාරය අපට දක්වා තැබිය හැකිය.තවද සමාජයක් ලෙස නීතිය ක්‍රියාත්මක කරන පුදගලයන් හට තමන් කැමති ලෙස අවි ආයුධ පරිහරණය කල හැකි බව සමාජය විශ්වාශ කරන අයුරුත්, ඊට සමාජයක් ලෙස ප්‍රතිරෝධයක් දක්වනවා වෙනුවට ඊට අනුමැතිය දෙන සමාජයක් බිහි වී තිබීම මෙම කෘතිය තුල අවස්ථා කීපයකදීම දක්නට ලැබෙනා තත්වයකි.

“මුදලාලි මං පොලීසියේ වුණාට වෙඩි තිබ්බේ හොර තුවක්කුවකින්” ජිනදාස මුදලාලිට පැවසුවේ දෙදෙනා බරපතල වරදක කොටස්කාරයින් බව හගවන ස්වරයෙනි.

“රාළහාමි කෙනෙක් වුණාම මොකෙන් වෙඩි තිබ්බාම මොකද?” යැයි මුදලාලි ඇසුවේ අවි ආයුධ සම්බන්ධයෙන් කැමති පරිදි කටයුතු කිරීමේ නිදහස පොලිස් නිලධාරියකු සතු බව විශ්වාශ කරන හැගීමෙනි.
(පිට 86)

මෙම කෘතියේ එන තවත් සුවිශේෂි ලක්ශණයක් වන්නේ කතුවරයා තම චරිත හරහා එක් එක් සමාජ කොට්ඨාශ වල අභ්‍යන්තරය එම පුද්ගලයන් පෙනී සිටින දර්ශනයෙන් කොතරම් විස්ථාපනය වී ඇත්දැයි දක්වා තිබෙන ආකරයයි. මෙහිදී ලයනල් චරිතය හරහා මෙරට වාමාංශිකයන්ගේ අභ්‍යන්තර ජීවිතය සිය අරමුණු හා කොතරම් නොගැලපෙන්නේද යන්න කතුවරයා මහත් උපහාසයෙන් යුතුව දක්වා සිටී.ලයනල් තම බිරිදගේ ඉදිරි ජීවිතය තමන් විසින් පාලනය කරන්නට යෑම, තම සගයා සමග එක්ව ඇයව දූෂනය කරන්නට උත්සහ දැරීම සහ මිනිසුන් හට කූඨ ලෙස වංචා කිරීම් හරහා ඔහු තම දේශපාලන ජීවිතය පවත්වාගෙන යාම එම ව්‍යාපාරය පෙනී සිටින සමානත්මතාවය ඔවුන් තුල වත් නොමැති බව කතුවරයා අපට ඉතා අලංකාර ලෙස දක්වා සිටී. අද දවසේ වාමාංශික ව්‍යාපාර වල තත්වය නොහොත් එහි නායකයන් ක්‍රියාත්මක වන ආකාරය සලකා බැලීමේදී එම තත්වය හුදු ප්‍රබන්ධයකින් ඔබ්බට ගිය යථාර්තයක් බව අපට පසක් කරගත හැකිය.

“තමා ද මුලදී ඇයට රහසින් ආශා කලේ ඈ සතුව තිබුණු ධනපතිකම නිසා බවත්, ඇගේ ආදරය පවා ඒ ධනපතිකමින් උත්පාදනය වූවක් බවත් ඔහුට සිතින”.

“අසූව වැඩවර්ජනය මධ්‍යයේ ඇය පරිපාලන විභාගයෙන් දිවයිනේ පළමුවැනියාට සමත් වුවද ඇගේ ගමන වැලැක්වීමට තමා සමත් වූ සැටි ඔහු සිහිපත් කළේය.”
(පිට 114)

හුදු පශ්චාත් සුනාමි තත්වයක් තේමා කරගත් මෙහි කතා වස්තුව තුල පාඨකයා ඉතා ගැඹුරු දේශපාලන හා සමාජ ක්‍රමය පිලිබදව කතිකා කිරීමක් දක්වා රැගෙන යාමට කතුවරයා දක්වන පරිණත බව සැබැවින්ම අගය කළ යුතුය.

කසුන් ප්‍රනාන්දු.
08/07/2015

සුපිරි තරු බිහිකරනා මාධ්‍යයේ නිරුවත වේදිකාව මතට….

4(395)

ඇත්තෙන්ම අප ජීවත් වන්නේ නින්දේද?… නාට්‍ය අවසානයේදී ප්‍රේක්ශකයා වෙත නාට්‍ය ඉදිරිපත් කරනා ප්‍රධානතම පැනය මෙයයි. අප සියලු දෙනාම සිහිනය තුල ජීවත් වීමට ප්‍රිය කරති. මන්ද ඉන් අප ඇහැරුණ විට අපට ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වනා බැවිනි.අප රටේ සුවිශේෂි ස්වත්‍රන්ත නාට්‍ය නිර්මාණකරුවකු ලෙස තම නම් සටහන් තැබූ රාජිත දිසානායකයන්ගේ නවතම නාට්‍යය වන “සිරිවර්ධන පවුල” හරහා වසර දහයක් පුරා අප ජන සමාජයේ අලුත්ම සිහිනය බවට බලහත්කාරී ලෙස අප මත පටවා ඇති සුපිරි තරු බිහි කිරීමේ ව්‍යාපෘති වල ඇතුල් පැත්ත හෙවත් නිරුවත සමාජය වෙත වේදිකාව හරහා ඉතා රසවත් ලෙස ඉදිරිපත් කරනු ලබයි.ඉන් නොනැවතී ඔහු මාධ්‍යයේ කාර්‍යභාරයද ප්‍රශ්න කිරීමට ලක් කරනු ලබයි. ඇත්තෙන්ම අද දවසේ මාධ්‍ය තම සැබෑ වගකීම වන රටක සිව්වන ආණ්ඩුව ලෙස කටයුතු කිරීමෙන් බැහැරව ජනතාව මුලා කරමින් තම ව්‍යාපෘති වල ඔවුන් සිර කරමින් සමාජය තද නින්දකට යොමු කරවීම ඔවුන් ගේ කාර්යය බවට පත් වී තිබීම සමාජයක් ලෙස අපගේ අභාග්‍යයකි.

නාට්‍යය කතා සාරංශය ලෙස අපට හදුනා ගත හැක්කේ සුපිරි තරුව වීමේ අභිලාශයෙන් සුපිරි තරු තරගයට යොමු වන තරුණයකුගේ ජීවිතය පමණක් නොව ඔහුගේ පවුලද ඇතුලුව එම සිහින ලෝකය තුල ජීවත් වීම අවසානයේ ඛේදවාචකයකින් අවසන් වීමය.සාමාන්‍ය ප්‍රේක්ශකයා ලෙස අප මෙතෙක් දැක තිබෙනුයේ සුපිරි තරු තරග වල වීරයාගේ කතාව පමනි. නමුත් අතරමග තම සිහිනය බොද වී ඉවත්වන්නුන්ගේ කතාව අපට ටෙලිවිශන් තිරයෙන් ඉදිරිපත් නොකෙරේ. ඒ මන්දයත් සුපිරි තරු තරග රටාව තුල අපට ඒත්තු ගන්වා ඇත්තේ අතරමග නැවතීමක් නැත යන්නය.නමුත් අප නොදකින යථාර්තය වන්නේ සිහින තරු වීම තම ජීවිතයේ ඒකීය අරමුණ කරගෙන තම ජීවිතය ඛේදවාචකයකින් අවසන් වන තරුන පරපුර අපට ටෙලිවිශන් තිරය හරහා මග හැරෙන බවය. මෙම යථාර්ථය මනා ලෙස සුපුන් සහ ඔහුගේ පවුල හරහා නාට්‍යකරුවා තම වෙදීකාව උප්යෝගී කරගෙන ප්‍රේක්ශකයා වෙත ඉදිරිපත් කෙරේ. නමුත් තව දුරටත් ඔබ්බට යන නාට්‍යකරු ඛේදවාචකයකින් පාඩම් ඉගෙන නොගන්නා අප සමාජයේ හැදියාව වඩාත් හොදින් නිරූපනය කරනු ලබයි.අප සමාජය අතීතයෙන් පාඩම් ඉගෙනනොගැනිමේ ඛේදවාචකය නිසාවෙන් සමාජයක් ලෙස අප ගෙවනා වන්දිය අති මහත්ය.උදාහරණ ලෙස 1983 කලු ජූලියෙන් දී ඇති වූ සිද්ධි හරහා පාඩම් උගත් සමාජයක් නම් කිසි ලෙසකින් වත් නැවතත් 2014 අලුත්ගම කලු ජූනියක් කෙසේ වෙතත් බොදු බල උම්මත්තකභාවයක් මේ රට තුල කෙසේ වත් ඇති නොවිය යුතුව තිබුනි.

“සිරිවර්ධන පවුල” නාට්‍යයය තුල තවත් තලයක් හරහා නාට්‍යකරු අප රටේ තරුණ පරපුරේ ඛේදවාචකය ඉතා වියුක්ත ලෙස තම නාට්‍යයය හරහා නිරූපනය කරනු ලබයි. මෙහි එන ප්‍රධානතම තරුණයින් තිදෙනා අතර වෙන සංවාද හරහා එය ඉදිරිපත් කර තිබීම ඉතා ප්‍රශංශනියය.මෙහි ඇති සුවිශේශිම ලක්ෂණය වන්නේ ලොව ඇති සන්නිවේදන තාක්ෂණය කොතරම් දියුණු වුවත් ශ්‍රි ලාංකික තරුණයා එය යොදවා ගන්නා ආකාරය ඉතා ග්‍රෝත්‍රිකය.වර්තමාන දේශපාලන වටපිටාව වෙත එම තාක්ෂණය යොදවා ගත් ආකාරය අධ්‍යනය කිරීමේදී අද රටේ තරුණ පරපුර උදම් අනනා කරුණක් වනුයේ රාජපක්ශ රෙජීමය පෙරළා දැමිමේ ප්‍රමුඛ කාර්‍යක් ඔවුන් විසින් ඉටු කල බවය.එහෙත් සාමජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ඇති වූ වාද විවාද වෙත නැවත් හැරී බැලීමේදී අප තරුණ පරපුර කටයුතු කරනා ආකාරය පිළිබදව අපට නම් හිරිකිතයක් දැනේ. ඔවුන් කිසිදු මූලාශ්‍රගත දැනුමකින් තොරව කරනා හුදු ආවේගශීලී වාද විවාද සමාජයක් ලෙස අප සමාජයේ අනාගතය කොතරම් ග්‍රොත්‍රවාදීද යන බිය අප තුල ඇතිවේ.කණගාටුවට කරුණ වන්නේ අප සමාජයේ වගකිව යුතු මාධ්‍ය ආයතන පවා වගකීමෙන් කටයුතු කිරීම පසෙකලා කටයුතු කරනා නින්දිත ස්වභාවයය. පසුගිය වසර දහයක් පමණ කාලය පුරා මාධ්‍ය ආයතන වැපිරූ අස්වැන්න අප පසුගිය සමයේ නෙලා ගත්තේය. හොදින් පසුගිය දශකය දෙස හැරී බැලීමේදී අපට දැකගත හැකි කරුණ වන්නේ රට තුල ජාතිකවාදී මතවාදයන් ගොඩ නැංවීමේලා මාධ්‍ය ඉතා අශීලාචාර ලෙස තම ගුවන් කාලයන් යොදා ගෙන ඇති බවය. පසුගිය වසරේ ඇති වූ අලුත්ගම ඛේදවාචකය එහි උතතරීතරම අවස්ථාව ලෙස අපට දැක්විය හැකිය.එම මොහොතේ පවා රටක සිව්වන ආණ්ඩුව ලෙස හදුන ගැනෙනා මාධ්‍ය කටයුතු කල ආකාරය නින්දිතය.වින්දිතයා වෙනුවෙන් පෙනී සිටිනවා බහුතරයා වෙනුවෙන් පෙනී සිටිනා මාධ්‍ය භාවිතයක් ඒ මොහොතේදී අපට දැකගත හැකි විය. මෙම යථාර්තවාදී තත්වය රාජිත දිසානායක මහතා තම නාට්‍ය හරහා ඉදිරිපත් කල ඇති ආකාරය විශිෂ්ටය. සුපුන්ගේ ලගම මිතුරා කටයුතු ආකාරය තුලින් එය ඔහු ප්‍රෙක්ශකයා වෙත ඉදිරිපත් කෙරේ.සමාජ සබදතා ජාතීවාදි දෘශ්ඨිකොනයකින් බැලීම, රූපවාහිනී හරහා විද්වත් යැයි හදුන්වන ජාතිකවාදී මත වපුරන පුද්ගලයන් වීරයන් කොට ගැනීම හා ඔවුන් වෙත විවේචන ඉදිරිපත් කරන්නන් හෙළා දැකීම හරහා අප සමාජයේ තරුණයන් ජාතිකවාදී මානසිකත්වයකින් ජීවත් වුවද එය පවා ඔවුන් සිදු කරනුයේ කිසිදු මූලාශ්‍ර දැනුමකින් නොවන බව සහ මාධ්‍ය හරහා වපුරන දේ තුලින් බව මෙන්ම ඔවුන් ඉතිහාසගත කරුණු පිලිබදව කිසිදු අවබෝධයක් නොමැති බව ඇන් ඇම් සහ කොල්වින් ආර් යනු කවුරුන් දැයි අසන ප්‍රකාශ හරහා අපට දැක ගත හැකිය.

මාධ්‍ය ඇත්තෙන්ම පැවතිය යුත්තේ සමාජයට ඉදිරියෙනි.නමුත් අද අපි දකිනා සත්‍යය වන්නේ මාධ්‍ය ජනතාවට මග කියනු වෙනුවට තම ලාභ පංගුව වෙනුවෙන් ඕනෑම නිර්ලජ්ජිත ක්‍රියාවලියක යෙදෙනා ව්‍යාපාරයක් බවට මාධ්‍ය ආයතන පත්ව තිබීමය. එය සුපිරි තරු තරග හරහා පමනක් නොව අද වන විට අද වන විට එය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී පවා යොදවනු ලබන තත්වයකට පැමින තිබීම ඉතා කනගාටුදායකය. සමාජය ශිලාචාර කිරීමේ වගකීම කෙසේ වෙතත් තම්න් ශීලාචාර විය යුතු බව නොතේරීම අද දවසේ අප නොදකිනා යතාර්ථයයි. මාධ්‍ය ආයතන සුපිරි තරග සහ විවිධ වු වැඩසටහන් වලට මුවා වී සිදු කරනු ලබන ලිංගික හිංසනය කිසිවෙකුත් නොදකී.බොහෝ දෙනා එවැන්නක් විශ්වාශ පවා නොකරති.නමුත් කටුක යථාර්ථය වන්නේ මාධ්‍ය ආයතන තම වැඩසටහන් හරහා ප්‍රධාන ලෙසම මෙගා ටෙලි නාට්‍ය මෙන්ම සුපිරි තරු වැඩසටහන් වලදී දැවන්ත ලිංගික හිංසනයක් සිදු කරනා බවය.එහෙත් ටෙලිවිශන් තිරය හරහා අප දකින්නේ ඔවුන්ගේ ඒ මහා නිරුවත වසනා සෙත් පිරිත්, ධර්ම සාකාච්ඡා සහ සමාජ සත්කාරක වැඩසටහන්ය. නමුත් මෙයට මුවා වී මොවුන් කරනා අනර්ථකාරී ක්‍රියා සමාජ ගත නොවේ. ප්‍රේක්ශකයා එම සිහින ලොවින් මිදීමට කිසිසේත්ම සූදානම් නැත.ඔවුන්ට එම ක්ෂිතිමය ඇත්දැකීම විදිමට බියක් දක්වයි.තම නාට්‍ය හරහා සුපුන්ගේ සහෝදරියත් මාධ්‍ය ආයතන වල එම  නිරුවත ප්‍රේක්ශකයා වෙත ඉදිරිපත් කෙරේ.

සම්ස්ථයක් ලෙස නාට්‍යකරු සමාජය වෙත මාධ්‍ය ආයතන වල අදුරු පැතිකඩක් නැවත සමාජය වෙත පෙන්වා දීමට වේදීකාව යොදවා ගෙන කරන ලද උත්සහය සාර්ථක වී ඇති බව  නාට්‍යය හරහා අපට දැකගත හැකිය. තවද ඔහු මෙම උත්සහය හරහා අප සාමාජයේ ඇති දැවන්ත අවුලක් වන පුද්ගලයන් කුටුම්භ ගත සිහින හඹා යෑම පිලිබද ඇති අර්බුදය මැනවින් ප්‍රේක්ශකයා වෙත ඉදිරිපත් කෙරේ. එය ඔහුගේ “වීරයා මැරිලා” නාට්‍යයේම දිගුවක් ලෙස දැකිය හැකි තත්වයකි. අද දවසේ රටක් ලෙස අප හමුවේ ඇති ප්‍රබල අර්බුදයක් වන්නේ තනි තනි සිහින හඹා යන වීරයකු වෙනුවට සමාජ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වෙන ඒ වෙනුවෙන් මැදිහත් වන වීරයන් බිහි නොවීමේ අර්බුදයයි. අද මිනිසුන්ගේ උත්තම වාක්‍ය වී ඇත්තේ කෙසේ හෝ තම්න් ගොඩ යෑම වෙනුවෙන් ඕනෑම කුපාඩිකමක් කිරීමය.එවැන්නන් බහුල සමාජයක මිනිසුන් තව තවත් ඉල්ලා සිටින්නේ සුපිරි තරු වීමට ඉඩක් මිස අන් කවරක්ද ?

කසුන් ප්‍රනාන්දු
07.02.2014

රසවත් පරිවර්ථනයක්…………………….

Liyanage Amarakeerthi The Postman NEWS (1)
අප රටේ ජනප්‍රිය මාධ්‍යක් වන පරිවර්ථන අතරින් බොහෝ පරිවර්ථන ඇත්තේ ඉතා දුර්වල තැනක යැයි බොහෝ දෙනා පවසන කරුණකි.ආචාර්යය ලියනගේ අමරකීර්ති විසින් පරිවර්ථිත Antonio Skarmata ගේ “El Cartero de Neruda” –“නෙරූදාගේ ලියුම්කාරයා” ප‍්‍රබන්ධ සාහිත්‍ය කෘතිය සිංහල පරිවර්ථන මාධ්‍ය නව මගකට යොමු කරවන්නකි.ලතින් ඇමෙරිකානු සාහිත්‍ය අද වන විට අප රටට එතරම් ආගන්තුක නොවූවද මෙම කෘතිය පරිවර්ථනය හරහා අමරකීර්ති මහතා අප එතරම් අසා නොපුරුදු අන්තොනියෝ ස්කර්මෙතා ශ්‍රි ලාංකික පාඨකයාට හදුන්වා දෙයි.මෙය වඩාත් රසවත් කෘතියක් වන්නේ එය දේශපාලනික නවකතාවක් වීමය. මෙය ලතින් අමෙරිකානු සාහිත්‍ය පරසක්වල ගැසූ ඊනියා සිංහල ජාතිකවාදින්ට අතුල් පහරක් වන කෘතියකි.

මෙහි කතා සාරාංශය වන්නේ මහා කවි පැබ්ලො නෙරුදාගේ ජීවිතයේ අවසාන යුගයේ ඔහුට හමුවන මිතුරෙකුගේ ආදර කතාව වෙත පැබ්ලො නෙරුදාගේ බලපෑම මෙහි මූලික තේමාව වුවද එහි යටි පෙල නිරූපනය වන්නේ මහා දෙශපාලන කතාන්දරයකි. එනම් චිලී රාජ්‍යයෙන් බිහි වූ ලොව ප‍්‍රථම සමාජවාදී ජනාධිපතිවරයා ලෙස සැල්වදෝර් අයියන්දේ බලයට පත් වීම, සී.අයි.ඒ. සංවිධානයේ මෙහෙයවීම යටතේ ජෙනරාල් පිනෝචේ විසින් අයියන්දේ ආණ්ඩුව බිඳ දැමීම ආදී සිදුවීම්  මෙහි යටි පෙලෙහි දක්වා ඇත. එය ඉතා රසවත් ලෙස මෙම තරුණයගේ ආදර කතාව තුලින් දක්වා තිබීමෙහිලා මෙම කෘතියේ කතුවරයා දක්වන්නේ ඉතා ශූර බවකි.

මෙම කෘතියේ තවත් සුවිශේශි ලක්ෂනයක් වන්නේ පබ්ලෝ නෙරුදාගේ කවිත්වය මෙම කෘතිය තුල දක්වා තිබීමය. එය පබ්ලෝ නෙරුදා මෙම කතාවේ එන තරුණයා වෙත රූපක ගොඩනැංවීම හරහා ඉදිරිපත් කර තිබීම ඉතා අලංකාරය. මෙහි එන රසවත් රූපක ගොඩනැංවීමක් මෙසේය.
“මෝඩියෙක් වෙන්න එපා, දැන් උඹේ හිනාව සමනලයෙක් වගේ නමුත් හෙට උඹේ තන් හඩළන පරවියො.උඹේ තනපුඩු පැනි පිරුණු රාස්බෙරි. උඹේ දිව දෙවියන්ගේ උණුසුම් පලස. උඹේ පස්ස නැවක ලෙලෙන රුවල්.ඔය කකුල් අස්සේ දැවි දැවි තියෙන අහවල් එක මානව වර්ගයාගේ කෙළින් වෙච්චි ආඩම්බර යකඩෙ රත් කරන ලිප.දැන් නිදා ගනිං.” (පිට 69)

තවද මෙම කුඩා පරිවර්තිත නවකතාවට සාපේක්ශව දිගු පෙරවදනක් ලියමින් ආචාර්යය සුමනසිරි ලියනගේ එකල ලෝක දේශපාලන තත්වය සහා මෙම කෘතියට අදාල චිලී රටේ පැවති තත්වය විග්‍රහ කර ඇති ආකාරය මෙම කෘතියේ දේශපාලන තත්වය වටහා ගන්නට පාඨකයාට මනා පිටුවහලක් වේ.මෙම පොතේ එන ඉතා රසවත් වදන් පෙලක් වන මහා කවි පැබ්ලෝ නෙරුදා නොබෙල් ත්‍යාගය ලබා ගනිමින් කල කතාවේ උපුටනයක් මෙසේ දක්වා තබමි.

“ගිනි ගත් ඉවසීමෙන් තමයි අපි සියලු මනුෂ්‍යන්ට ආලෝකය, සාධාරණය හා අභිමානය ලබා දෙන අන්‍යලංකාර පුරවරයක් ජය ගන්නේ.”
(පිට 119).

කසුන් ප්‍රනාන්දු

15/01/2015

Photo Credit :www.Boondi.lk

කුරුලු හදවත තුලින් යථාර්ථය.

කුරුලු හදවත තුලින් යථාර්ථය.

නවකතාව ප්‍රබන්ධයක් වුවත් බොහෝ නවකතාකරුවන් තම ප්‍රබන්ධ තුලින් සමාජ යථාර්ථය පිලිඹිබු කිරීමට පෙලඹේ.ආචර්ය ලියනගේ අමරකීර්ති තම තෙවන නවකතව පාඨකයාට හදුන්වා දෙන්නෙම ප්‍රබන්ධයක් ලෙස වුවත් එය ඔහු තම පරම්පරාව වටහා ගැනීම හෙවත් ඔහුගේ සමාජයේ යථාර්ථය එලි දක්වනු පිනිස ලියන ලද්දක් බව දන්වා තබයි. “මගේම පරම්පරාව සමීපව වටහා ගැනීම පිනිස මා ලියන ලද ප්‍රබන්ධ මාලවක අසම්බන්ධ දිගුවක් සේ සැලකිය හැකි මේ නවකතාව”(පිටුව 07)

ඔහුගේ දෙවන නවකතාව හා වඩාත් කතාබහට ලක්වූ කෘතියද වන “අටවක පුත්තු” කෘතිය සේම පාඨක සිත් සතන් ඇඳ බැඳ තබා ගැනීමට මෙම කුරුලු හදවත කෘතිය සමත්ය. 2013 වසරේ නිකුත් වූ නවකතා අතරින් වඩාත්ම විචාරයට ලක් වූ කෘතියද වන්නේ කුරුලු හදවතයි. කතාව සැකෙවින් ඉදිරිපත් කරන්නේ නම්, කුල පීඩීත සමාජයක ගොදුරක් වූ තරුණයකු ඉන් මීදීමේ මාර්‍ගය ලෙස ජනප්‍රිය ගුවන් විදුලි මාධය භාවිතා කීරීම තුල අවසානයේ එහිම ගොදුරක් බවට පත් වී ජීවිතයෙන් පලා යාම මෙහි කතා සාරාශය වේ.

බුදු දහම වෙනුවට කුල දහම

ගෞතම බුදුන් තරමට කුලවාදය ප්‍රතික්ෂේප කල ආගමීක ශාස්තෘවරයකු ලොව පහල නොවූ තරම්ය.නමුත් අවාසනාවට ගෞතම බෞද්ධ රාජ්‍ය ලෙස උත්කර්ශයට ලක් කරනු ලබන මේ බිමෙහි තරම් ආගම හරහා කුල පීඩනය යොදා ගන්නා රටක් නොමති තරම්ය.අමරකීර්ති මහතාද තම කෘතිය තුලින් මේ පිලිඹඳ උපහාසයෙන් ප්‍රශ්න කරනු ලබයි. නවකතාවේ එන දිනසිරි වෙත ගුවන් විදුලියෙන් එවනු ලබන තෑග්ග ලබා ගැනිමේදී නමෙහි ඇතිවන ගැටලුවේදී නම තහවුරු කරගනීම පිණිස පන්සලට යන අතරමගදී දිනසිරිගේ සිතේ නැගෙන ප්‍රශ්න ඔස්සේ අප රට තුල ආගම හරහාද පීඩිතයා තව දුරටත් පීඩාවට ලක්වන අයුරු උපහාසත්මකව නිරූපනය කරනු ලබයි.“දිනසිරි දන්නවා උන්වහන්සේගෙ හැටි ඉඩකඩම් වතුපිටි තියෙන උදවියගෙ හිත් නොරිදෙන විදියටයි උන්වහන්සේ බණ කියන්නෙ”
“අනික ඔය වාසගමට දාගෙන තියෙන නමත් තමුසෙලාගෙ නෙවේනෙ” හාමුදුරුවො වදාරණ බව ඔහුට සහතිකයි. එවිට දිනසිරිට කියන්න ඉතුරු වෙන්නෙ “එහෙයි, එහෙයි,” කියන එක විතරයි. “එතකොට හාමුදුරුවනෙ ඇල්බට් පෙරේරා අමරදේව උනෙ” කියල දිනසිරි අහන්නෙ ඔහුගේ හිතේ වැඩ වසන හාමුදුරු කෙනෙක්ගෙන් විතරයි.(පිටුව 45/46)

හමුදා යථාර්ථය

අප සියලු දෙනාම මගහරිමින් සිටින කටුක සත්‍යය වනුයේ හමුදාව යනු විශේෂ කොටසක් නොව එය පාලකයන්ගේ මර්ධන යන්ත්‍රය වන වගය. ඔවුන් පිලිපදිනුයේ පාලකයන්ගේ අණ මිස වෙන කිසිවක් නොවේ.එම අණ හමුවේ ඔවුන්ගේ තුවක්කුවට මුහුන දෙන්නාගේ වර්ගය හෝ ආගම නොසලකයි. එය උතුරේ මුලතිව් වලදීද දකුණේ රතුපස්වලදීද කියා වෙනසක් නැති බව අප අත් දුටු යතාර්තයයි. මෙරට මාධ්‍ය හරහා කොතරම් උත්කර්ශයට නන්වන්නට උත්සහ කලද මෙරට බොහෝ දෙනා හමුදාවට බැදුනේ රණවිරුවකු වී ජාතිය රැකීමට වඩා බඩවියත රැක ගනීම බව බොහෝ දෙනා මග හරිනා සත්‍යයයි.නවකතවේ එන දිනසිරි ද උසස් පෙල අසමත්වීමේ ප්‍රතිපලය ලෙස තෝරා ගනු ලබනුයේ හමුදාවය. අමරකීර්තී මහතා එය ඉතාමත් ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරනු ලබයි.
“අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලන් කියලා පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව :හමුදාව, විභාග දෙපර්තමේන්තුව හමුදාවයි අතර රහස් ගිවිසුමක් තියෙනව වගේ දෙපර්තමේන්තුව අසමත් කරන අය හමුදාවට බඳවාගෙන ඔවුන්ගේ සමත්කම් මතුකරලා පෙන්නනවා.(පිටුව 10).
මෙ තුලින් අමරකීර්ති මහතා ප්‍රබන්ධයෙන් මිදී යථාර්ථය අවබොධ කරගන්නා ලෙස පාඨකයාට ආරාධනා කරයි.

විප්ලවයේ අස්වැන්න.

1988/1989 නැගී සිටීම් මගින් තරුණයා ලබා ගත්තේ සහ රටට ඉන් ලබුනේ කුමක්ද යන්න අමරකීර්තී මහතා තම කෘතිය හරහා ප්‍රශ්න කරනු ලබයි.දිනසිරි තම පොස්ට් කාර්ඩ් ව්‍යාපෘතිය මගින් ඔවුන් පීඩනයට ලක් කලාවූ ගමෙහි නම හා බැදුනු කුල නාමය ඉවත් කරගැනිම කැරලි කාර තරුණයන් හට තේරුම් ගනීමේ හැකියාවක් හැකියාවක් නොමැති කම සහ ඔවුන් එ තරම් හෝ යමක් දිනා නොගත් බව ප්‍රශ්න කරනු ලබයි.දෙමළ විමුක්ති ව්‍යාපාරය මෙන්ම සිහල විමුක්තිකාමි ව්‍යාපෘතිය තම ශක්තිය කොට ගෙන තිබුනේ පැසවෙමින් පැවතුනාවු කුල පීඩනයයි.නමුත් අවසානයේ එම ව්‍යාපෘති දෙකම සමතලා කල දැමු පසු එම කුල පීඩිතයන් අතරමන් වූ බවක් නැවත හැරී බැලීමේදී අපට දැක ගත හැක.
“වළන්ගන්ගොඩ”,”බඩහැලගන්ගොඩ යනාදියෙන් හදුන්වා කොන් කරන ලද ගමක් කව් රුත් ආඩම්බරයෙන් සිහි කරන ගමක් බවට පත් කළ දිනසිරිගේ විප්ලවීය කර්‍ය් අගය කරන්නට සරත් ටත් ලලිත් ටත් හැකියාවක් නැති බව දිනසිරිට පේනවා.(පිටුව 128).

ජනප්‍රිය මාධ්‍ය භාවිතයේ හෙළුව

1977 පසු විවෘත ආර්ථිකයේ කොටසක් ලෙස 1990 දශකයේ අප ලද පුද්ගලික ගුවන් විදුලි නාලිකා තම වෙළද උවමනා වෙනුවෙන් කරනු ලබන කූට උප්‍රකම අමරකීර්තී මහතා ඉතා හාස්‍යයෙන් යුතුව නවකතාව පුරාම දක්වා තබයි.
විවිධ වු තැපැල් ස්ථාන මගින් නාලිකා විසින්ම තැපැල් පත් යොමු කිරීම, තමන්ට අවශ්‍ය ගීත නිතර වාදනය කරවීම හරහා ඒවා ජනප්‍රිය කරවීම හා තම ව්‍යාපරික අරමුනු වෙනුවෙන් දෙශපාලන මතවාද නිර්මානය කරවීම. මෙම ක්‍රමයේ උච්ච්තම අවස්ථාව ලෙස වර්තමාන කාලය හැදින්විය හැකිය. අද වනවිට මාධ්‍ය දේශපාලන පක්ශ වෙත අපේශකයන් යොමු කරන තැනට යොමු වී සිටීම කවර නම් තත්වයක්ද?
“මිනිස්සු එවුවා ඉල්ලුවේ නැතත් කාලයක් ගැහුවම එවුවා ඉල්ලන්න පටන් ගන්නවා.අපි මිනිස්සු ඉල්ලන සින්දු ගහනවා වගේ පෙනුනට ගහන එව්වාම තමයි මිනිස්සු ඉල්ලන්නේ”(පිටුව 213).

නොපවතින ගමක් උතකර්ශවත් කිරීම.

අද වන විට මාධ්‍ය ආයතන ඉතා උත්කර්ශවත් ලෙස තම ව්‍යපාරික උවමනා වෙනුවෙන් ගම නිරූපනය කරනා යුගයකි.නමුත් අප මගහරිනා යථාර්ථය වනුයේ අප උත්කර්ශයට නන්වනුයේ මිහිපිට නොමැති ගමක් වීමය. වඩාත්ම උත්ප්‍රසය වනුයේ විවිධ වූ බුද්ධිමතුන් පවා මෙම ව්‍යාපෘතියේ කොටස් කරුවන් වී තිබීමය.අමරකීර්ති මහතා තම නවකතාවේ එන මුත්තු අත්තා චරිතය හරහා මෙම නොපවතින ගම උත්කර්ශයට නැන්වීම හාස්‍යයට ලක් කරනු ලබයි.
“මුත්තු අත්තා එක්ක යමුකො දිනේ රේඩියෝ එකට” සරත් යොජනා කලේ මුත්තු අත්තා අවුස්සන්න. ” අප්පා මට බෑ පච කෙලින්න. මේකා ඔකේ කියන තරමක් කෙලින්නෙ පච.අපි කොළ පාගනවලු සිල් ගත්තා වගේ- බුදුන් වැඳලා!”
“දිනසිරි බිම බලාගෙන උන්නා. කමත ගැන වැඩසටහන් වල එහෙම කිව්වේ දිනසිරි විතරක් නෙමේ අර මහාචාර්ය කට්ටියත් එහෙම කිව්වා”
“මී හරකුන්ට වදිනවලු, හොඳ වැඳිල්ල ! පේර කෝටුවෙන් දෙන්නේ. (පිටුව 276)

සාර්ථක අවසානය

අමරකීර්ති මහතා නවකතාව අවසාන කරනුයේ තරමක් වෙනස් වූ ආකරටය.තමන් තමන් ගොඩනැගු විප්ලවීය ක්‍රියාමර්ගය තුලම ගොදුරක් වී තමන් බලාපොරොත්තු වූ සමාජය වෙනුවට තිබූ තැනටත් වඩා අගාධයට යන තත්වයක් තුල ඔහු හට ජීවිතයෙන් පල යෑම හැර විකල්පයක් ඔහු සතු නොවීය. එම අවස්ථාව කතුවරයා දක්වා ඇති ආකරය ඉතා අලන්කාරය. කෙසේ වෙතත් ඒ මොහොත වන විට දිනසිරි ගෙ ඊලග ක්‍රියාමර්ගයකට අවශ්‍ය කරන ඊලග චරිතය නොහොත් විකල්පය මාධ්‍ය විසින් ගොඩනගා හමාරය. මෙය කතුවරයාගේ පරිනත බව විදහා දක්වන්නකි.
කෘතිය අවසානයේ ඔහු ගෙන එනු ලබන විග්‍රහය වර්තමාන සමාජ ක්‍රමය කැඩපතක් ලෙස පාඨකයා වෙත යොමු කරවයි.එම විග්‍රහය තුලින් ප්‍රබන්ධය යථාර්ථය කරා ගෙන එනු ලබයි.
“අපි ඔක්කොම විශාල නූල් ගෙත්තමක් ඇතුලෙ තම‍යි මල්ලි ඉන්නෙ.කොහේ බැලුවත් අතුලෙම තමයි. පිටක් නෑ. ගෙත්තමෙන් පිට කියලා දෙයක් නෑ කියලා ඩෙරීඩා නේද කිව්වේ.(පිටුව 365)

හුදු කුල පීඩ්නය පමනක් යොදා ගනිමින් ඉතා සන්වේදී කෘති බිහිවන යුගයක ලියනගේ අමරකීර්ති මහතා එය දේශපාලන මැදිහත් වීමක් හරහා යථාර්ථවාදී ලෙස ඉදිරිපත් කරන කුරුලු හදවත කෘතිය විශිශ්ට කෘතියකි.