මනසිකාර සිතුවිලි

රතු ඉරි අඳින අත | ලියනගේ අමරකීර්ති | 2019

“රතු ඉරි අඳින අත” නම් වූ කෙටි නවකතාව ඇතුලේ අප ජීවත් වන සමාජ දේහයම තුලම පවතින ව්‍යාජත්වය පුපුරවාලීමට ලියනගේ අමරකීර්ති සමත් වී සිටිනවා. කියවන්නාට පහසුවෙන් කියවා අවසන් කල හැකි වුවත් නමුත් ඉතා සංයමයෙන් කියවා ගත යුතු නූතන සමාජ දේශපාලන කියවීම් ගණනාවකින් මේ නවකතාව සමන්විතය. අද අප ජීවත්වන සමාජය තුල වඩ වඩාත් උත්කර්ශයට නංවන අපේකම, සංස්කෘතිය හා දේශ්ප්‍රේමය වගේ දේවල් ඇත්තෙන්ම පවතින යථාර්ථයක් ද එසේත් නොවන්නේනම් එය මේ සමාජ ක්‍රමය හසුරුවන බලවේග විසින් නිර්මාණය කරන ලද්දක්ද යන්න වටහා ගන්නට මේ කෘතිය කියවන්නාට මග පෙන්වීමක් සපයා තිබේ.

පූර්ණ සිංහලබෞද්ධ සමාජ ක්‍රමයක් වෙනුවෙන් ක්‍රියාත්මක බලවේග නොදන්නා සත්‍යක් වන්නේ එකී සමාජ ක්‍රමයක් අප සමාජයේ කවරදාවකවත් පැවති තත්වයක් නොවන බවය. මෙරට කුල අර්බුදය එලිපිට කතිකා නොකලද නිශ්චිත අවස්ථාවන් වලදී එය මතුපිටට පැමිණෙන ආකාරය ඉරිදා ජාතික පුවත්පත් වල නම් වෙනස් කිරීම තුලින් පවා නිරීක්ෂණය කල හැකිය. මේ තත්වය උපහාසාත්මක ලෙස තම නවකතා තුල ඇතුලත් කිරීමට අමරකීර්ති සෑම විටම අමතක කරන්නේ නෑ. කුරුලු හදවත තුල දිනසිරි නම වෙනස් කර ගැනීම හෙලාදකින භික්ශූව වෙත දිනසිරිගේ විඥානය ඇතුලෙන් ඔහු ඇල්බට් පෙරේරා අමරදේව බවට රූපාන්තරය වීම ගෙන හැර පෑම මෙන්ම මෙම නවකතාව තුල සුමිත් ගේ මිතුරා ප්‍රනාන්දු බවට කරන ප්‍රකාශය හා බිරිද විසින් ඊට ලබා දෙන පිලිතුර හා ඔහු එය සිංහලබෞද්ධ ජාතිකවාදීන්ගේ ජාතික ගීයක් බඳු සසර වසන තුරු ගීතයේ රචක ඩෝල්ටන් සිල්වා වෙත සම්බන්ධ කොට ඇති ආකාරය උත්ප්‍රාසජනකය.

” අනික ඔය වාසගමට දාගෙන තියෙන නමත් තමුසෙලාගේ නෙවෙයිනේ” හාමුදුරුවෝ වදාරන බව ඔහුට සහතිකයි. එවිට දිනසිරිට කියන්ඩ ඉතුරු වෙන්නේ ” එහෙයි එහෙයි” කියන එක විතරයි. ” එතකොට ඇල්බට් පෙරේරා අමරදේව උනේ” කියල දිනසිරි අහන්නේ ඔහුගේ හිතේ වැඩ වසන හාමුදුරු කෙනෙකුගෙන් විතරයි
(පිටුව 45/46 | කුරුලු හදවත)

” මේ දේශාභිමානී ගීතය සිංහල දේශාභිමානී ගී අඹරේ සුදිලෙනවා අමරද්ව – ඩෝල්ටන් සුසංයෝගයේ අග්‍රඵලය සේ. මහාචාර්ය සරච්චන්ද්‍ර ඩෝල්ටන්ට කිව්වා නම් අපි ඔයාගේ නම අරුණදේව කරමු කියල, අමරදේවයන්ට කළා වගේ, එ සුසංයෝගය අමරදේව – අරුණදේව සුසංයෝගය වෙන්න තිබුණා.”
( පිටුව 15 | රතු ඉරි අඳින අත )

මේ නවකතාවේ චරිතයක් වන මනසිකාර චරිතය හරහා ඔහු අප සමාජයේ ඇති සීමාන්තික ජාතිකවාදය හා ව්‍යාජයෙන් ගොඩනංවා ඇති ලෝකෙන්ම උතුම් සංස්කෘතිය ඔහු අභියෝගයට ලක් කරවනවා. නමුත් සමාජය ඇතුලේ ඔහුව හදුනාගන්නේ පිස්සකු ලෙසය. ඔහුගේ චරිතය පවා අපට සිහිගන්වන්නේ කුරුලු හදවතේ මුත්තු අත්තා චරිතයයි. වයසට යත්ම බොහෝ සමාජ ප්‍රගතිශීලීන් පවා මේ හීනමානී සංස්කෘතික වලිප්පුවෙන් පෙලෙන යුගයක ඔහු එහිදී මුත්තු අත්තා චරිතය ගොඩනගා ඇත්තේ මේ ව්‍යාජ සංස්කෘතියට හෙළිදරව් කරන්නකු ලෙසටය. මෙහිදී මනසිකාර ජපන් සෙන්සේගේ ජාතික ආලය උත්කර්ශයට නංවන ප්‍රකාශ ප්‍රශ්න කරමින් සටහන් තබන සමාජ මාධ්‍ය ප්‍රකාශ හා ඊට සමජය දක්වන ප්‍රතිචාර ඔස්සේ අප සමාජයේ ඇති සංස්කෘතික පරිහානිය මෙන්ම විශ්ව විද්‍යාල වල සිසුන්ගේ මෙන්ම අචාර්ය මහාචාර්ය වරුන්ගේද පටු චින්තනය විනිවිද දැකීමට ඉඩකඩ ලබා දේ.

” “ලංකාව වගේ රටක් කොහේවත් නෑ” යනුවෙන් සුරම්‍ය සන්ධ්‍යාවෙන් සෙන්සේ කී වැකියක් උපුටා දක්වූ මනසිකාර මෙසේ ලියා තිබිණි.”

” දණිහ වගේ අල්ලක් කොහේවත් නෑ”
” කූඹියෙක් වගේ අලියෙක් කොහේවත් නෑ”
” කොකිස් වගේ කොණ්ඩ කැවුම් කොහේවත් නෑ”
(පිටුව 126)

“ලංකාව වගේ රටක් කොහෙවත් නෑ වගේ එව්වා ටෙලිවිශන්වලට එන කට්ටිය හරියට කියනව. ටී වී තියෙන්නෙම එව්ව කියන්ඩ. ඕක ඉතින් ඕනේ රටකට කිව්වැකිනේ. ලංකාව වගේ රටක් කොහෙවත් නැති හින්දා ඒ වෙනුවෙන් මිනීමරමු කියනෙකනේ කියවෙන්නේ කියල මට හිතුනා”

” මිනිස්සු ඔව්ව බලන්නේ සින්දු ටික අහන්නම නෙමේ අර විස ටික උරාගන්ඩ. නැත්තං දැනටමත් ඇතුලේ තියෙන විස ටික තව පැසව ගන්ඩ”
(පිටුව 127/128)

මෙහි එන සෑම පරිච්ඡේදයක් පාසාම අප සමාජය ඇතුලේ තියෙන ව්‍යාජ ස්වරූපය කඩපතක් අල්ලනවා සේ අපට කියවන්නට ඉඩ සලසා තිබේ. මෙය ඉතා සීරූවෙන් සෙමෙන් කියවීම තුලින් අපට මේ සමාජය විසින් මහත් උජාරුවෙන් නඩත්තු කරන ව්‍යාජයන් හා මහා ඒවා පසුපස එන පනිවුඩ හදුනාගත හැකිවෙනවා. විශේෂයෙන් මේ ජනාධිපතිවරණය සමයේ ජඩමාධ්‍ය මෙන්ම විද්වතුන් ගේ කාර්‍යභාරය ඇතුලේ තියෙන ජඩ ස්වරූපය හොදින්ම අධ්‍යනහ කිරිමේ හැකියාවක් නිර්මාණය කර දී තියෙනවා.මේ නවකතාව ගැන ඉතා කෙටි නමුත් විශිෂ්ඨ වැකියක් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි තබා තිබුනා.

“සමස්ථයක් විදියට ‘රතු ඉරි අඳින අත’ කියැවූ කෙනෙකුගේ හිසේ දෙහි කටුවක් වගේ ඒ පොත ඇනෙනව. ඉන්පසුව කරන කියන හැම දෙයකදීම පාහේ ඒ පොත සිහිපත් වෙනවා

කසුන් ප්‍රනාන්දු | 08.10.2019

දවස් තුනක කතාවක් | 2019 | අරුණ ප්‍රේමරත්න

සියදිවි නසා ගැනීම බහුතරයක් අර්ථ දක්වන්නේ පලා යෑමක් විදියට. නමුත් අපිට කවදාවත් ඊට ගොදුරු වන පුද්ගලයාගේ කතාව හෝ ඊට හේතුව හරියටම දැනගන්න ලැබෙන්නේ නෑ. ඒක කියන්නට ඔහු නැති නිසා හැමෝම තමුන්ගේ පරිකල්පනය ඇතුලේ ඒකට නිර්වචන දෙන එකයි වෙන්නේ. ඒක සමහර විට ඒ පුද්ගලයාගේ මෙන්ම ජීවත් වන්න්නට පවා සිදු කරන අසාධාරණයක් වෙන්න පුලුවන්. වරතමානයේ සිය දිවි නසාගන්නාට පමනක් නොවේ ජීවත් වන්නාට පවා සිය දිවි නසා ගැනීමට උත්තේජනය සපයන පරිකල්පන ගොඩනැංවීමට මාධ්‍ය පවා ක්‍රියාත්මක වන ආකාරය අපිට අත්දකින්නට පුලුවන්.

අරුණ ප්‍රේමරත්න ගේ ‘ දවස් තුනක කතාවක් ‘ නවකතාවේ ප්‍රධානම චරිතය වන මාධව මීට අවුරුදු ගාණකට කලින් සිය දිවි නසාගෙන මිය යනවා. ඔහුගේ සමීපතමයන් පවා හරි හැටි නොදන්නා ලෙසට තමා මේක සිද්ධ වෙන්නේ. ඕස්ට්‍රේලියාවෙ වෙසෙන අසංක අවුරුදු ගාණකට පස්සේ ලංකාවට එනවා, ඔහු අද වන විට නවකතා රචකයයෙක්. අසංක කියන්නේ මියගිය මාධව ලගින්ම ඇසුරු කරපු මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක්. මොහුට අවශ්‍ය වෙනව මේ සිදුවීම නවකතාවකට ගොඩනගන්නට. නමුත් ඔහුට අවශ්‍ය මේක යතාර්ථවාදීව ලියන්නට. ඊට නිශ්චිත හේතුව දැනගන්නට. නමුත් කාලය විදියට ඔහුට ලැබෙන්නේ දවස් තුනක් විතරයි. ඔහු මේ දවස් තුන ඇතුලේ යාතාර්ථය සොයා ගන්නවාද, නැතිනම් ඔහු පරිකල්පනය මත මෙය ගොඩනංවනවාද යන්න මත කුතුහලයෙන් පාඨකයාට එක හුස්මට කියවා ගත හැකි ලෙස මේ කතාව ගොඩනංවන්නට ලේඛකයා සමත් වී තිබෙනවා.

මේ දවස් තුන ඇතුලේ මේ කතාව අපිට කියන අසංක ජිවීතය විනිවිද දකිමින් කියවන්නට උත්සහ කරනව. විශේෂයෙන්ම මේ කතාව ඇතුලේ මිනිස් සබඳතා ගොඩනංවා ඇති ආකාරය හරිම අපූරූයි. කිසිම මිනිස් සම්බන්ධතාවක ඇතුලත ගැන කිසිවෙක්ට පිටින් ඉදගෙන නිර්වචන ඉදිර්පත් කිරීමේ ඇති සංකීර්ණ බව මේ කෘතිය පුරාවටම එන සම්බන්ධතා ඔස්සේ අපිට අත්දකින්නට සලස්වා තිබෙනවා.

” ගෑනු මිනිස්සු අතරේ ඇති වෙන සම්බන්ධකම් හරි සංකීර්ණයි අයියේ. ඒවා ඉරි ගහල කොටු කරල වෙන් කරලා මෙන්න මේවා හරියි, මෙන්න මේවා වැරදියි කියලා කියන්න බෑ. මං ඒක අත් දැකීමෙන් දන්නවා. ඒ හින්දා මට තාත්තට සමාව දෙන්න පුළුවන්. “
( පිටුව 70 )

එක මොහොතක පවතින කිසිම දෙයක් අපිට කවදාවත් ආපහු අත්දකින්නට ලැබෙන්නේ නෑ. එය අතීතයට එකතු වන තවත් සිදුවීමක් විතරයි. එවන් සිදුවීම ගණනාවක් කාලයත් සමග අපට අපේ මතකයෙන් පවා ගිලිහී යනවා. මේ කතාව දවස් තුනක් ඇතුලේ ගොඩනංවල තිබුනාට කතාව පුරාම එන්නේ අතීතයේ සෙවනැල්ල. අතීතය වැඩක් නෑ කියල මිනිස්සු කොයි තරම් නම් කතාවට කිව්වත් අපි හැමෝම අතීතයේ මතක එක්ක ජීවත් වෙන්න ආසයි වගේම අපිට ඒ තරම් පහසුවෙන් ඉන් ගැලවෙන්නට ලැබෙන්නෙත් නෑ. කතාව කියවන්නා විසින් මෙහි කතා නායකයා වන මාධව ජීවීතය වගේම තමුන් හා මෙහි කතාවට සම්බන්ධ වන චරිත වල වර්තමාන ජීවීතයට අතීතය ගැට ගැහිලා තියෙන හැටි හොදින්ම ගොඩනංවන්නට සමත් වෙලා තියෙනවා.

” වලාකුලක් විසීරී යන්නා සේ වියැකී ගිය අතීතය ගැන වද වීමෙන් හෝ පසුතැවිලි වීමෙන් කිසිදු පලක් නැහැ. යලිත් ඒ නැති වී ගිය මොහොත, ඒ හැඩතලය ඒ අයුරින් අපිට අප වෙත පැමිනෙන්නේ නැහැ. එය සදාකාලිකව අතුරුදහන් වී ගොස් අවසන්. එහෙත් මේ මොහොත බදා වැළද ගත හැකි අයුරින්, තොල ගා රස විඳිය හැකි අයුරින් අප හමුවේ, අපේ දෑතට දැනෙන අයුරින්, ඝනව, උනුසුම්ව තිබෙනවා නොවේද ? අපට කළ හැකි වන්නේ අපගේ දෑත් මානයේ ඇති ඒ වර්තමානය තොල ගා රස විඳීම නොවේද ? එය තිත්ත රසයක් තිබුනද අනාගතයේ එය රසවත් වෙතැයි අපට බලාපොරොත්තු තැබිය හැකියි. අතීතය සම්බන්ධයෙන් කිසිවක් කරන්නට කිසිවෙකුට හැකියාවක් නෑ”
( පිටුව 213)

©️ KF | 18.03.2020

යටත් විජිත ඉතිහාසය වර්තමානය වෙත කැඩපතකින් ඉදිරිපත් කරන ආදරණීය වික්ටෝරියා …..

කෘතිය වර්ෂ 1867 මහනුවරට ප්‍රථම දුම්රිය සම්ප්‍රාප්ත වූ දිනයේ සිට 1899 කොළඹ මහ මුදලි වලව්වේ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරනායක ප්‍රසූත වන දිනය දක්වා මෙරට සිදුවූ සමාජ දේශපාලන ව්‍යපර්‍යාසය වඩා හොදින් විග්‍රහ කරන කතාවකි. එක් පසකින් මෙය කුමාරී ජයවර්ධන ගේ Nobodies to somebodies කෘතිය ප්‍රබන්ධ නවකතාවක් කිරීම වැනිය .

අරක්කු ව්‍යාපාරය මෙරට සමාජය සහමුලින්ම වෙනස් මගකට වෙනස් කළ මහා ව්‍යාපාරයකි. නිදහස වෙනුවෙන් සටන් කලා යැයි කියවෙන මහා ජාතික නායකයන්ගේ මුල් පරම්පරාවල මූලික ධනය සොයා ගනු ලැබූයේ අරක්කු රේන්ද ව්‍යාපාර වල පිහිටෙනි. එහි එන වඩාත්ම උත්ප්‍රාසජනක තත්වය නම් අමද්‍යප ව්‍යාපාර යේ මුල් පෙල සියලු නායකයන්ගේ මුල් ගැට ගැසී තිබුනේ අරක්කු රේන්ද කර්මාන්තය සමගය. මෙය අප සමාජ ක්‍රමයේ ආවේණික ලක්ශනය බදු දෙබිඩි ජීවන ක්‍රමයයි. මෙය නවකාතාව තුල බොහෝ තැන්වලදී කතුවරයා විසින් ඉස්මතු කොට තිබේ. එහි උච්චස්ථානය වන්නෙ අන්දිරිස් පානදුරා වාදය පැවැත්වෙන විට අසනු ලබන පැනයයි.
“ඒ කියන්නේ මේ වාදේ කෙරෙන්නේ රේන්ද රාළලාගේ අරක්කු සල්ලි වලින්.”
(පිට 113).
මෙය ප්‍රබන්ධය ඉක්මවා යන ලාංකික ජනසමාජයේ දෙබිඩි ලක්ෂණය විදාරාණය කිරීමකි.

නූතන සාමජය නොදන්නවා වුවද අප සමාජයෙහි වඩ වඩාත් උත්කර්ෂයට නංවන සදාචාරය යන්න අප වෙත ලබා දෙනු ලැබුවේ අප ඉතිහාසය තුලින් නොවේ. එම ඊනීයා සදාචාර ගතිපැවතුම් වික්ටොරියානු සදාචාර පැවතුම්‍ වේ. අද වන විට එම රටවල් එම යල්පැනගිය සදාචාරයන් අමතක කරමින් නූතනත්වය වෙත පියවර තබමින් ඉදිරියට ගමන් කරමින් සිටින විට අප වඩ වඩා එම යටත් විජිත උරමයේ හිර වෙමින් සිටී. අන්දිරිස්ගේ පුත් ඇල්ෆ්‍රඩ් වරෙක පවසන වදනක් ඊට නිදසුන් සපයා ඇත.
“ඔය ධර්මපාල සිංහල මිනිස්සුන්ගෙ නිදහස සීමා කරලා කරන්න හදන සුචරිතවත් සමාජයම තමයි වික්ටෝරියා බිසවුම්න්නාසේත් ඒ විදියටම කරන්න බලාපොරොත්තු වෙන්නේ”.
(පිට 240)

මෙම කතාවේ සුවිශේෂීම කොටස වන්නෙ මොහාන් රාජ් කෘතිය අවසන් කරනු ලබන ආකාරයයි. එය ඉතා දේශපාලනික පරිචයකින් ලියන ලද්දකි. SWRD බන්ඩාරනායක යනු රටක් ලෙස අප අදටත් හිර වී සිටින ජනවාර්ගික ප්‍රශ්නය තීරණාත්මක තලයකට සිර කරනු ලැබූ දේශපලානඥයාය. ඔහු සහ ඔහුගෙ පවුල පිලිබඳ ඉතා හොදින් පිරික්සන්නෙකුට ඔහු කොතරම් ද්විත්ව රූපි මිනිසකුද යන්න වටහා ගැනීමට අපහසු නොවනු ඇති. බන්ඩාරනායක රෙද්ද බැනියම් ඇදි මහා ජාති ප්‍රේමියකු ලෙස වටහා ගෙන සිටින මෙරට ජනයා ඔවුන්ගේ කපටි දේශපාලනය නොහදුනයි. මහ මුදලි පිළිබදව මොහාන්‍ රාජ් කරනු ලබන විග්‍රහය ඔවුන් පිළිබදව කරනු ලබන ඉතා සාධාරණ දේශපාලනික කියවීමකි.
“කොතරම් ගාම්භීර මිනිසකු වුණත් මහමුදලි බන්ඩාරනායක ඉංග්‍රීසි ආණ්ඩුව ළග දනින් වැටෙන්නේ පොඩි ළමයකු වගේය. උන්නාසේගේ තේජවන්ත වලව්ව පිරී තිබෙන්නෙ ඊට ප්‍රතිචාර වශයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලැබූ අනේක නම්බුනාම හා ගෞරව බුහුමානවලිනි.”
(පිට 276)

මෙම කෘතියේ අවසානය පිලිබඳ අශෝක හදගම කර තිබෙන විග්‍රහය ඒ පිළිබදව කර තිබූ විශිෂ්ටතම විග්‍රහය බව මගේ මතයයි. එය පාඨකයන්ට තම නූතන ඉතිහාසය දෙස නැවත හැරී බලන ලෙස කරන ආයාචනයක් බදුය.
“සර් ජෝශප් රිජ්වේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ අතිශය කුළුපග සේවකයකු වූ කොළඹ මහ මුදලි වලව්වේ සොලමන් බන්ඩාරනායකගේ බිරිඳ ඩේසි ඔබේසේකර සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරනායක ප්‍රසූත කරන තැනින් මොහාන් කතාව නවත්තනවා එතනින් එහාට සමාජය ගමන් කෙරුණේ කොයි දිශානතියක් ඔස්සේද කියන එක කියවා ගත යුත්තේ අප විසිනි. ඊට පස්සෙ කතාව ගොතන්නත් ඕන කියවන අපි.
මේ හරහා ඇත්තටම සිද්ධ වූනේ මොකක්ද කියන එක තේරුම් ගන්න අවකාශ ලැබෙනවා.”
අශෝක හදගම – 2015 ජූනි 25- දිවයින වටමඩළ.

©️Kasun Fernando | 2016

පීඩනයට එරෙහිව නැගී සීටීම – Pariyerum Perumal

Pariyerum Perumal | 2018 | INDIA

Visarani බැලුවට පස්සේ ඒ හා සමාන ලෙස විදින්න පුලුවන් චිත්‍රපටයක් ලෙස තමයි Pariyerum Perumal මුණ ගැසෙන්නේ. මොකද චිත්‍රපටයේ විනාඩි කීපයකට පස්සේ අපිවත් නිර්මාණකරු විසින් වින්දිතයා බවට පත් කරවන්නට මේ සිනමා පට දෙකම සමත් වෙලා තියෙනව. Pariyerum Perumal ඇතුලේ සාකච්ඡා කරන්නේ අපි කවුරුත් කතා කරන්න අකමැති එහෙත් අපේ සමාජයේ පවා යටිපෙලින් ගලාගෙන යන නින්දිත කුල ප්‍රශ්නයක් එක්ක. ඒක දකුණු ඉන්දීය සමාජයේ දැවැන්ත ලෙස පවතින්නක්. ඒ වෙනුවෙන් මහත්මා ගාන්ධි හා අම්බෙඩ්කාර් වගේ අය ගත් උත්සහයන් නිසා යම් සහනයක් පැවතුනත් එය නිශ්චිත අවස්ථාවන් වලදී උඩට මතුවෙනවා.

පරි වටා තමා මේ මුලු කතාවම ගොඩනැගිලා තියෙන්නේ. ඔහු දුශ්කර පලාතක පහත් යැයි සම්මත කුලයක තරුණයෙක්. නමුත් ඔහු නීතීය හදාරන්නට නීතී විද්‍යාලයට එනවා. නමුත් ඔහුට තම සිහිනය කරා යන්නට එතරම පහසුවක් වන්නේ නෑ. එක් පසෙකින් ඉංග්‍රීසිත් අනෙක් පස තමුන්ගේ කුලයත් ඔහුගේ මේ ගමනට බධා කරනව. මෙහිදී ඔහුට මුන ගැසෙනව අපූරූ තරුණියක් ඇය මොහුට ඉංග්‍රීසි සම්බන්ධයෙන් ඇති බාධාව ඉවත් කරගන්නට උදව් කරන අතරේම ඔහුට ආදරයෙන් බැදෙනවා. නමුත් ඔහුට ඒ ගැන සිතන්නටත් මත්තෙන් තරුණියගේ පවුලේ අය සහ ඇය විවාහ වීමට යෝජීත තරුණය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. මෙහිදී තරුණියගේ පියා විසින් කරන ප්‍රකාශය මේ කුල ප්‍රශ්න වලින් මනුශ්‍යත්වය කොතරම් දුරකට පසුපසට ගෙන විත් තිබෙනවාදැයි අපට හිතන්නට ඉඩ සලසනවා. ඔහු කියන්නේ එකට ඉගෙන ගත් පමණින් තමන් යැයි සම ලෙස නොසිතන ලෙසය. චිත්‍රපටයේ තීරණාත්මක තැන තමා මෙතන. මෙතෙක් සියලු දේ විදදරා ගනිමින් සිටි පරි ඒ වෙනුවට සටන් වැදීම තෝරා ගන්නවා. නමුත් එය පවා ඔහුට කරන්නේ තවත් පීඩනයක් පමනයි. ඔහුට ඔහුගේ පියා රැගෙන එන ලෙස කරන පලමු අවස්ථාවේදී ඔහු කරන්නේ කුලියට කෙනෙක් රැගෙන ඒමය. මන්ද ඔහුට ඔහුගේ පියාව සමාජයට ඉදිරිපත් කිරීමට ඔහු බියවනවා. මන්ද ඔහු කාන්තාවක් ලෙස නැටුම් ඉදිරිපත් කරන්නෙකු නිසාය. නමුත් දෙවන අවස්ථාවේදී ඔහු විසින් තම සැබෑ පියාව ඉදිරිපත් කරනවා. මේ සදහා ඔහුට පණිවුඩය කියන්නට යන මොහොත හා ඒ සදහා යොදා ගෙන ඇති ගීතය තරම් දර්ශන පෙලක් නැතුව ඇති මනුස්සයෙක්ව shock කරන්න. අපිටත් පරි හඩා වැටෙන හැගීම දනවන්නට අධ්‍යක්ෂකවරයා වගේම සංගීත අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තිබෙනවා.මෙහි අවසානය Visaranai වල අවසානය වගේ නෙවෙයි. එය ඛෙදාන්තයකින් අවසන් වුවත් මෙහි අවසානය නිශ්චිත නෑ. තරුණියගේ පියා පවසන්නේ හෙට කුමක් විය හැකිදැයි කෙසේ කියන්නද කියාය.

චිත්‍රපටය පටන්ගන්නේ පහත tag line එක්ක.
” Cast and Religon are harmful to Humanity. “. මේක ප්‍රබල වගේම ප්‍රශ්නකාරී ප්‍රකාශයක්. නමුත් අධ්‍යක්ෂකවරයා සිනමා පටය අවසන් වුනාට පස්සේ අපේ ඔලුවට වද දෙමින් කියන්නේ ඒ ප්‍රකාශය කොයි තරම් සධාරණද කියලයි. මනුශ්‍යත්වයට නිගා කරන ආගමික කුල මතවාදයකින් සමාජයට ඇති දේ කුමක්ද ?. තම පලමු සිනමා කෘතිය මෙතරම් විශිෂ්ට එකක් ලෙස ඉදිරිපත් කරන්නට Mari Selvaraj ට මෙහි සංගීතයෙන් Santhosh Narayan දීලා තියෙන්නේ අපුරූම සහයක්. The hindu පුවත් පත් මේ පිළිබඳව කරබ විචාරය අවසන් කරන්නේ මෙහෙම කියලා.
“If there’s one film you’re watching this year, it has to be Pariyerum Perumal.”

Kasun Fernando 2019

බුද්ධ පුතුන් හිට්ලර් කෙනෙක් ඉල්ලා සිටින යුගයක Schindlers List චිත්‍රපටය තුලින් Oska Schindler ගේ මනුශ්‍යත්වය තේරුම් ගනිමු..SCHINDLERS LIST | 1993 |

සාමාන්‍යයෙන් අපට ජර්මන් ජාතික නාසි පක්ශයේ සාමජිකයකු කිවූ පමණින් දෙවන ලෝක යුද්ධය ගැන සරල හෝ අවබෝධයක් ඇති කෙනෙකුට පව ඇති වන්නේ අපුලකි. නමුත් මෙම චිත්‍රපටය නරඹා අවසන් වන ඕනෑම පුද්ගලයකුට එය එසේ නොවේ යැයි සිතන්නට පොලඹවන්නට මෙම සිනමා නිර්මාණය සමත් වී ඇත. පලමු රූපරාමු තුලින් අපට Oscar Schindler යනු ලාභය උදෙසා යුදෙව් ශ්‍රමය සූරාකන්නෙකු ලෙසත් පුද්ගල සබදතා හරහා ගොඩ නගා ගත් බලය අවභාවිත කරන්නෙකු ලෙස පෙනී ගියත් අවසාන රූපරාමුව නරඹන නරුමයකු නොවන කිසිවෙකුටත් ඔහුත් සමග හඩා නොවැටෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ජුදා ජාතියට අයත් වීම නිසාම පමණක් මරණ වරෙන්තුව අත තබා ගෙන සිටින මිනිසුන්ගෙන් ඔහු ඔහුට කල හැකි උපරිමය කරමින් මිනිසුන් 1200ක ගේ ජීවීත ආරක්ශා කර දීමට සමත් වනවා. මේ සදහා ඔහු විශාල කප්පම් ප්‍රමාණයක් ගෙවා දමනවා. මේ සදහා ඔහු මුලින් ගොඩනගා ගත් සබදතා ජාලය උපරිම ලෙස භාවිතා කරනවා. එක් අවස්ථාවක ඔහුගේ ලයිස්තුවට ඇතුලත් වූ මිනිසුන් රැගත් දුම්‍ රිය නතර වන්නේ අවුශ්ටික් කදවුරේය. මේ මොහොතේ පවා ඔහු ක්‍රියාත්මක වී මේ මිනිසුන් අවසාන මොහොතේ පවා මරණින් මුදවා ගැනීමට ඔහු ගත් උතසහය තුල ඔහු කෙතරම් උසස් මනුශ්‍යයෙක්ද යන වග ප්‍රේක්ෂකයාට සිතා ගත හැකිය.

මේ සිදුවීම් ජාලය සිදුවන්නේ අද මෙන් තොරතුරු ගලා නොයන යුගයක මීට අසූ වසරකට පෙරය. ඉතා සූක්ෂම ලෙස යුදෙව්වා යනු තවදුරටත් මනුශ්‍යයෙක් නොවන බවට දෘෂ්ඨිවාදයකින් ජර්මානු සමාජය මෙන්ම යුරෝපය පුරාම වෙලී ගිය යුගයකය. එවන් යුගයක මේ Oscar Schindler වැනි මිනිසුන් ගැන අසන්නට හැකි නමුත් මේ 2020 නම් වසරේ අපට ගෞතම බුද්ධ රාජ්‍යයෙන් හමුවන්නේ හිට්ලර් කෙනෙක් වන්න යැයි රටක නායකයාගෙන් ඉල්ලා සිටින අවිහිංසා වාදී දර්ශනක වර්තමාන හිමිකරුවන්ය. අත් වැරදීමකින් හෝ මෙවන් චිත්‍රපටයක් නරඹා ඒ කම්පනය දැනුනු පුද්ගලයෙකු සිහිනෙන් හෝ හිට්ලර් කෙනෙක් පතන්නේ නම් නැත.

කලු සුදු චිත්‍රපටයක් වන මෙහි එක් දර්ශනයක රතු කබායකින් සැරසුනු කුඩා දරුවකු ලේ විලක් මැද ගමන් කරන දෙස ඔස්කා බලා සිටී. මේ පිලිබද විවිධ වූ විග්‍රහයන් පවතින අතර වඩාත් ජනප්‍රියම මතය වන්නේ එකී රතු පැහැයෙන් යුදෙව් සමාජය මුහුණ දුන් ඛෙදාන්තය නිරූපිත වූ බවය. තවත් ලෙසකින් එය මෙහි අධ්‍යක්ෂකවරයා වන Stevan Spilberg ඇමෙරිකනු සමාජයට ඔවුන් මුල් අවස්තාවේ යුරෝපයේ යුදෙව් සමාජය මෙවන් ඉරණමට මුහුණ දුන් බව දැන දැනත් අනුගමනය කල නිහඩ පිලිවෙත මතක් කිරීමට දුන් පණිවුඩයක් ලෙසත් විග්‍රහ කරන පිරිසක් සිටී.

යුරෝපය පුරා මිලියන 6කට අධික යුදෙව් ජනතාවක් සමූල ඝාතනයකට ලක් කල යුගය ( Holocaust )අරඹයා නිර්මාණය කල සිනමා නිර්මාණ අතරින් වඩාත්ම ප්‍රේක්ෂකයා කම්පනයට පත් කල සිනමා කෘතිය ලෙස මෙය හැදින්වීම කිසි සේත් අතිශෝක්තියක් නම් නොවේ.

©️ Kasun Fernando | 09.02.2020