අන් සියලු දේට වඩා මනුශ්‍යත්වය උතුම් බව කියා දෙන Land of MineLand of Mine | 2015 | Denmark

දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ සිනමාව තුල බොහෝ විටම නිරූපනය කෙරෙන්නේ ජර්මානු සෙබළුන් දුෂ්ඨයන් පිරිසක් ලෙසය. නාසි ආක්‍රමණය තුල ඔවුන් විසින් යුරෝපයේ රටවල සිදු කරන ලද මානව විරෝධී ක්‍රියා බොහෝ චිත්‍රපට සදහා පසුබිම් වේ. නමුත් මේ Land of Mine ච්‍රිතපටය නරඹන ප්‍රේක්ෂකයා තුල ජර්මානු සෙබලා කෙරෙහිද සානුකම්පිතව බලන්නට ඉඩ විවර කර දී තිබේ.

කතාව ආරම්භ වන්නේ 1945 වසරේ ඩෙන්මාර්කයේ බටහිර වෙරළ ආශ්‍රිතවය. ජර්මානුවන් විසින් දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේ වල දමන ලද බිම් බෝම්බ මිලියන 1.2 ක් නැවත නිශ්‍ර්කීය කිරීමේ වගකීම අත් අඩංගුවට පත් වූ ජර්මානු සෙබළුන් පිරිසක් වෙත පැවරේ. ඔවුන් බහුතරයක්ම යෞවන වියේ පසුවන සෙබළුන් පිරිසකි. මෙම එක් කණ්ඩායමක් බාර දෙනු ලබන්නේ කාල් නම් වූ ඩෙන්මාර්ක් සාජන්වරයෙකු වෙතය. මුලදී ඉතා දැඩි ලෙස මොවුන් හට සැලකීමට ඔහු ක්‍රියා කරනු ලබයි. නමුත් කාලයත් සමග නිල ඇදුම ඉක්මවා ගිය මනුශ්‍යත්වයකින් ඔවුන් වෙත සානුකම්පිත වීමට මේ කාල් ක්‍රියා කරනු ලබයි. දුශ්කර වූ ක්‍රියාමාර්ගයකින් පසුව ඔවුන්ට අනුයුක්ත ප්‍රදේශයේ වූ බිම් බෝම්බ 45,000 ඉවත් කර ගැනීමට ඔවුන් සමත් වුවද අවසානයේ ඉතිරි වන්නේ 4 දෙනෙකු පමණය. ඔවුන්ද නැවත ජර්මනිය වෙත පිටත් නොකිරීමට කාල්ගේ ප්‍රධානියා ක්‍රියාත්මක වීමට සැරසෙන විට ඔහු ඉතා සූක්ෂම ලෙස මොවුන්ව ජර්මානු දේශසීමාව අසලට රැගෙන විත් අත් හැරීමට ක්‍රියා කරන ආකාරය තුල අපට මනුශ්‍යත්වය පිලිබද නව මානයකින් සිතන්නට පොළඹවයි. නිල ඇදුමට මුවා වී සිදු කරන මානව විරෝධී කෘර ක්‍රියාමාර්ග පවා වීරත්වයට නංවන සමාජයක ජීවත් වන අපට කාල් නම් හමුදා නිලධාරීයා කියා දෙන්නේ අන් සියලු දේට වඩා මනුශ්‍යත්වය උතුම් බවය.

©️Kasun Fernando 15 | 11 | 2020

ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ | මීප් ගීස් | චූලානන්ද සමරණායක

දෙවන ලෝක යුද්ධය ගැන ලියවී ඇති කෘති අතරින් ඈන් ෆ්‍රෑන්ක් ගේ දින පොතට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ඒ එය ලියු දැරිය වයස 15 ක් වීමත් හා එය ආක්‍රමණ කරුවන්ගෙන් බේරීම සදහා සැගවී සිටි යුගයේ ලියවූවක් නිසාය. වසර කීපයක් ඈන් ඇතුලු පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් තම දිවි පවා පරදුවට තබමින් කටයුතු කල ගැහැණියකගේ මතක සටහන් Anne Frank Remembered හී අන්තර්ගත වේ. ඇය විසින් ඈන් ෆ්‍රෑන්ක් හා පවුලේ අය නාසි අත් අඩංගුවට පත් වීමේන් පසුව මේ දිනපොත ආරක්ෂා කරගනිමින් එය ලෝකයට ඉදිර්පත් කිරීමට සමත් නොවන්නට එය ලෝකයට අහිමිවන්නට පවා ඉඩ තිබුණි.

අදද බොහෝ දෙනා යුද්ධය උත්කර්ශයට නංවමින් එහි මහා වීරත්වයක් දකින්නට උත්සහ කරනු ලබයි. එවන් යුගයක මෙවන් කෘතියක් හරහා බිහිසුනු යුද්ධයකදී පවා තම මනුශ්‍යත්වය පවත්වාගන්නේ කෙසේද යන්න බව මීප් ගීස් විසින් අපිට උගන්වා තිබේ. ඈන් ෆ්‍රෑන්ක් හා පවුලේ අය මෙන්ම තවත් පවුල් කීපයක් වෙනුවෙන් ආහාර මෙන්ම ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතා හැකි උපරිමයෙන් ලබා දීමට ඇය කල මැදිහත් වීම හරහා අපට මත් වන්නේ 1983 ජූලී වර්ගාවාදී සංහාරය මොහොතේ පවා ඇතම් සිංහල මිනිසුන් දමිල මිනිසුන් ආරක්ෂා කල ගත් ආකාරය ගැන ලියවී ඇති සටහන්ය. දිනපතා ඇය සැගවී සිටි අය හමුවට යන අතර සැගවී සිටින මිනිසුන් පත් ව සිටින පීඩනය සමනය කිරීමට ඇය තම මනස සකස් කල ගත් ආකරය තම කෘතියේ මෙසේ දක්වා තිබේ.

” ඉදින් මෙසේ පොත් රාක්කය පසෙකට තල්ලු කල සෑමවිටම මට මුහුණෙහි මඳ සිනහවක් තවරාගෙන මගේ හද තුල වූ කටුක සිතුවිලි සඟවා ගැනීමට සිදු වූවේය. මා එවිට කලේ හොද හුස්මක් ගෙන යළි පොත් රාක්කය පෙර සේම තිබෙන සේ ඇද, ඇම්ස්ටර්ඩෑමයේ අන් කොතනකවත් තවදුරටත් නොදැනෙන සතුටක් සහ සන්සුන් බවක ලකුණු මුහුණේ ඇඳගැනීමයි. උඩුමහලේ සැඟව ඉන්නා මගේ මිතුරන් කිසි ලෙසකින් හෝ සිත කරදරයට පත් නොකළ යුතු වූවේය. එසේම ඔවුන් මා සිත තුල පැවති සංකාවන්හි කොටස්කරුවන් නොවිය යුතු වූවේය.”

( පිටුව 129/130)

මීප් ගීස් විසින් මනුශ්‍ය ස්වභාවය පිළිබද අපූරූ කියවීමක්ද පොත අවසාන භාගයේදි කරනු ලැබ තිබේ. යුද්ධය පැවති වකවානුවේ මිනිසුන් සිටියේ තම සියලු සමාජ කුලකයන් අත් හරිමින් නාසි ආක්‍රමණයට එරෙහිව හෝ ඊට පක්ෂවය. ඇය ජීවත් වූ නගරයේ බොහෝ දුරට මිනිසුන් හට යුද්ධය විසින් ජීවීතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තම සියලු සමාජ කුලකයන්ගෙන් බැහැරව ජීවත්වන්නට සිදුවිය. නමුත් යුද්ධය අවසන් වීමත් සමගම නැවත මිනිසුන් තුල වූ බෙදීම් තුලට මිනිසුන් ගමන් කරනා අකාරය ඇය ඉතා හොදින් දක්වා තිබේ. මේ වැනිම අපුරූ කියවීමක් අශෝක හඳගම විසින් නිර්මාණය කල ” නැගෙනහිර වෙරළින් ඇසෙන” නාට්‍ය තුල විය. පලමුව සුනාමියෙන් එකාවන්ව ජීවීතය බේරාගන්නා මිනිසුන් කෙටි කලකින් අනාථ කදවුරකදී පවා තම බෙදීම් තුලට ගමන් කරනා අයුරු එම නිර්මාණය තුල හොදින් දක්වා තිබුණි.

” ජර්මානු ආක්‍රමණය පැවති සමයේ එහි සිටියේ දෙයාකාරයක ඕලන්ද ජනතාවක් පමණි. සහය පළකල ජනතාව සහ එරෙහි වූ ජනතාව. ඒ අනුව දේශපාලන, ආගමික සහ පංතිමය විභේදනයන් අමතක කර දැමිණ. අප වැනි ඕලන්දයන් කෙළින්ම අපේ ජර්මානු ආක්‍රමණිකයාට එරෙහි වීම නිසැක දෙයක් විණි.

මුදා ගැනීමෙන් පසුව එතෙක් පැවති සමගිය ඉක්මනින්ම අතුරුදන්ව ගියේ යළිත් වරක් ජනතාව අතර විවිධ බෙදීම් සහ කණ්ඩායම්වලට කැඩීයෑම් ආරම්භ වූවේය. සෑම දෙනාම සිය පැරණි පිළිවෙත් වලට අවතීර්ණ වූවෝ තම පංතිය, තම දේශපාලන කණ්ඩායමට අනුගත වූවෝය. මිනිසුන් වෙනස්ව සිටියේ මා සිතනවාට වඩා අඩු ප්‍රමාණයකිනි.” (පිටුව 287 / 288)

©️Kasun Fernando 15 | 11 | 2020