තාගෝර් ගුරු දේව වන්දනාවෙන් ඔබ්බට

facebook_1491462768232

ගුරු දේව වන්දනාව විසින් ඔසවා තිබූ රබින්ද්‍රනාත් තාගෝර් උස්සා පොළවේ තැබූ කෘතියත් ලෙස එරික් ඉලයප්ආරාච්චි ගේ තාගෝර් ආදරවන්තයාගේ කතිකාව දැක්විය හැකිය. සමාජයේ පවතින සරල කියවීම වන්නේ තාගෝර් යනු වන්දනීය පුද්ගලයකු යන්නය. ඇත්තෙන්ම එය එසේ නොවේ. ඔහු පිදුම් ලැබිය යුතුය. ඒ ඔහුගේ චරිතය නිසාවෙන් නොව ඔහු තම ලිපි සහ කෘති හරහ කරනු ලැබූ සමාජ මෙහෙවර නිසාවෙනි. පොත හදුන්වා දෙනු ලබන පසුපස කවරයේ සටහන ඊට හොද ගමන් මගක් සපයා දී තිබේ.
” ඉන්දියාව විසින්ම වර්ධනය කෙරුනු තාගෝර් පිළිබද විචාරයේ දැවැන්ත පරිමාව නොදැක හාසයොත්පාදක ලෙස ගැයෙන බොල් ප්‍රශස්ති සහ පුනුරුච්චාරණ වෙනුවට නවකතා කරුවකු කෙටිකතාකරුවකු ලෙස ඔහුගේ ශේෂ්ඨත්වය තහවුරු කෙරෙන කෘතියකි.”

අනු කොටස් 25 යටතේ සාකාච්චා කරනු ලබන තාගෝර් දිවිය ඔහුගේ විශිෂ්ටතම ලේඛන ඔස්සේ කරනු ලබන විග්‍රහය හරහා පාඨකයා වෙත නවමු කියවීමක් වනවා නොඅනුමානය. ඇත්ත වශයෙන්ම ඉන්දියාව ඇතුලු සමස්ථ ආසියාවම වෙලාගෙන පැවති අන්ධ විශ්වාශයන් මෙන්ම පසුගාමී ආකල්ප තාගෝර්ගේ දැඩි විවේචනයකට ලක් වීය. ඔහු හින්දු සම්ප්‍රදාය වෙනුවට නූතනත්වය අගය කරනු ලැබූ මිනිසෙකි.    ඔහු තම ලේඛන වලින් පාඨකයන්ට නූතන්ත්වය වැළද ගැනීමට ආරාධනා කලේය. නමුත් බහුතර පාඨකයන් එය වටහා ගැනීමට සමත් නොවූ බවක් වර්තමානය වන විට අපට දැක ගත හැකිය. ඔහුගේ වර්තමාන පරපුරේ ලේකකයන් වන අරුන්දති රෝයි වැන්නවුන්ට එල්ල වන චෝදනා තේරුම් ගැනීමේදී ඒ තත්වය වටහා ගැනීමට අපහසු නොවුනු ඇති. පොතේ එක් තැනක වන පහත පාඨය තුලින් එය තවත් තහවුරු වනවා ඇති.
“ගෝරා නවකතාව මේ කාලයේ රචනා වී බුකර් සම්මානය දිනාගත්තේ නම් තාගෝර් විජාතිකයන් පිනවීම සදහා පොතපත ලියන ලේඛකයකු ලෙස විවේචනයට පාත්‍ර වෙයි” (පිටුව 148).

තාගෝර්ගේ විශිෂ්ටතම නවකතාව ලෙස සැලකින ගෝරා කෘතිය මෙම පොත තුල ඉතා ගැඹුරින් විග්‍රහයට ලක් කෙරේ. හින්දු සමාජය තුල සිර වී සිටි ගෝරා ඉන් ඉවතට ගනු ලබන තාගෝර්ගේ ප්‍රගතිශීලී ලේඛන විලාශය එරික් ඉලයප්ආරාච්චි ඉතා ගැඹුරින් මෙම කෘතිය තුල දක්වා ඇත. තවද ඇතම් ස්ථාන වලදී එහි ඇති දෝෂ පවා වඩා විග්‍රහත්මකව විස්තර කොට තිබේ.  ඉන්දීය නිදහස් සටනේ කොටස්කරුවන් තුල වූ දෙබිඩි ලක්ෂණ පව මෙහෙදී දක්වා තිබේ. එය ඉන්දියාව පමණක් නොව බොහෝ සමාජ ක්‍රියාකරීන් ප්‍රශ්න කරවනු ලබන තැනකි.
“බාහිර වශයෙන් සමාජ දේශපාලනික ජීවීතයේදී ප්‍රබුද්ධතාව පිළිගත් ඔවූහු රහසේ තම බිරිඳ, දරුවන සහ ආදරය පිළිබද කාරණාවලදී බාහිර ලෝකය සහ නිවස අතර පරතරය පවත්වා ගෙන යන ආකාරයේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කලෝය.” (පිටුව 166)

මෙම කෘතිය තාගෝර් පිළිබදව මෙන්ම ඔහුගේ කෘති නැවත කියවා ගැනීමට පාඨකයන්ට ආරාධනා කොට ඇත. එමෙන්ම මෙම කෘතිය හරහා අපට ඉන්දීය නිදහස් අරගලයට දායක වූවන්ගේ දර්ශනයේ තිබූ දැක්ම සහ අප නිදහස් අරගලයේ නායකයන්ගේ දැක්ම පිළිබද සංසන්දනාත්මකව සිතා බැලිය හැක.

මෙය විදර්ශන ප්‍රකාශනයකි.

07.06.2016