ඉතිහාසයට නව මානයක් – මාණික්කාවත

maa

ඉතිහාසය වනාහි පසුගිය වසර කීපය පුරාම ශ්‍රි ලංකාවේ කලාව තුළ අන් කවර කාල සීමාවකට වඩා උත්කර්ශයට නංවන ලැබූ මාතෘකාවක් නොවූවේය. එය හුදෙක්ම බිහි වූයේ පැවති පාලකයා උත්කර්ශයට නංවනු අටියෙනි. එහිදී සිදු වූයේ පාලකයාගේ උවමනාව වෙනුවෙන් ලියවුනු දෑ මහත් උත්කර්ශයෙන් සත්‍ය ලෙස වට්ටෝරු ගත කර සමාජ ගත කිරීමකි. ඊට වෙනස් මගක යමින් ඉතිහාසය පිළිබදව ලියවුනු නවකතාකරුවන් අතර මොහාන් රාජ් මඩවල සහ මහින්ද ප්‍රසාද් මස් ඉඹුල ඉදිරියෙන්ම සිටී. එකිනෙකට වෙනස් මාවත් දෙකක් ඔස්සේ තම නිර්මාණ කරනයේ යෙදුනු ඔවුන් සැබවින්ම සිදු කලේ උඩුගංබලා පිහිනීමකි. සෙංකොට්ටං නවකතාව හරහා මහත් ජනප්‍රසාදයක් සේම විචාරක අවධානයට යොමු වූ මස් ඉඹුලගේ දෙවන කෘතිය වන මාණික්කාවත ඉදිරිපත් කරන්නේද සිය පළමු කෘතිය සදහා යොදා ගනු ලැබූ තේමාවමය. කුල පීඩනයෙන් බැට කෑ එදා සමාජය ඔහුගේ කතාවන් හී මුඛ්‍ය තේමාවය. එය එවක  පැවති සමාජය විනිවිද කියවීමක් වැනිය. මන්ද බොහෝ ඉතිහාසය හා බැදුනු කතා පුවත් වලදී අපට අසන්නට ලැබෙන්නේ ජයග්‍රාහකයාගේ කතා පුවත පමණි. පරාජිතයා හෙවත් පීඩිතයාගේ කතා පුවත මග හරිමින් තම කතාව ගොඩනැංවීම බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තුල අපට දැකගත හැකි විය.

මාණික්කාවත තුල කථා තේමාව වන්නේ කුල පීඩනය සේම සමාජය පුරා පැතිර තිබූ මිථ්‍යා විශ්වාශ හේතුවෙන් පීඩනයට ලක්වන පිච්චි නම් ගැහැණියට උපකාර දක්වන කෙටි හාමිට ඒ හේතුවෙන් තම හිතේශීන්ගෙන් ඉවත් වීමට සිදු වීමත් ඒ නිසාම ඔවුනට තම ගම් බිම් අතහැර ඉවත් වීමට සිදු වීමත් හා ඔවුන් විසින් ගොඩනගන ජීවිතය හා ඊට එල්ල වන අභියෝග සේම සමාජය ක්‍රමයෙන් ඉදිරියට ගමන් කිරීමේදී ඔවුන් විසින් ඒ නිර්මිත ගම සහ පරිසරය වෙනස් වන ආකරය කෙටි හාමි නම් මිනිසා ඒ වෙනස කෙරෙහි උපේක්ශාවෙන් මුහුණ දෙන ආකාරයත්ය. මෙම කතාව ගොඩනැගෙන්නේ යටත් විජිත සමයේ සිට හැටේ දශකයේ අවසානය තෙක්ය.එම කාල වකවානුව අප සමාජය දරුණු පරිවර්තනයකට මුහුණ දුන් කාල සමයකි.එක් පසකින් යටත් විජිත පාලකයාගෙන් එල්ල වන පීඩනය සේම ඔවුන්ගේ අතේවාසිකයන්ගෙන් එල්ල වන පීඩනයට එකවර පීඩිතයාට මුහුණ දෙන්නට සිදුවූ කාලසමයකි. එය එක් පසකින් ආර්ථිකමය සූරා කෑමක් වන විට අනෙක්පස එය ලිංගික සූරා කෑමක් විය. තම නිල තත්වය සේම කුල තත්වය හරහා ඔවූහූ  පීඩිතයා වෙත එල්ල කරනු ලැබූයේ දැවැන්ත පීඩනයකි. එම තත්වය කෘතිය පුරාම කතුවරයා විසින් විවිධ අවස්ථා මගින් පෙන්වා දී ඇත. කෙටි හාමී සහ පිච්චි විසින් ගොඩනගන ලද ගම වෙත රතු නිළමේගේ ගම් වැදීමෙන් පසු යටත් විජිත ආර්ථිකය වෙනුවෙන් අහිංසක මිනිසුන් ගොඩනැගූ බිම් පෙදෙස් කොටු කරණු ලබන ආකාරයත් අනෙක් පස ගමේ සිටින ගැහැණුන් ලිංගික වහල් කමට යොදා ගැනීම අපට දැකිය හැකිය.

මාණික්කාවත නවකතාව තුල එන තවත් සුවිශේෂි ලක්ෂනයක් වන්නේ කෙටි හාමි චරිතය ගොඩනැගීමේදී කතුවරයා දක්වන මානුෂික භාවයයි. සමාජය ක්‍රමයෙන් ඉදිරියට යාමේදී මිනිසුන් නූතනත්වය වෙනුවට නැවත ග්‍රෝත්‍රිකත්වය සොයා යෑම අපට බොහෝ විට අත් දකින්නට ඇති කටුක යථාර්ථයයි. ඒ සදහා වර්ථමානයේ ශ්‍රි ලංකික සමාජය උවමනාවටත් වඩා සාක්ෂි සපයා ඇත. නමුත් ඊට පරිබාහිරව මස් ඉඹුල විසින් ගොඩ නගනුයේ ගමක උපදෙස් ලබා දෙන හුදු වැඩිහිටියකුගේ චරිතයට පරිබාහිරව නූතන මනුෂ්‍යත්වය කැටි වූ මිනිසෙකු ලෙසය. ගමට එන දමිල කම්කරුවන්ට ගමේ මිනිසුන්ගේ විරොධය නොතකා සැලකුම් කිරීමත්, 1956/58 කාල වලදී ඇති වන වාර්ගික සංහාර වලදී ඊට ඔහු දක්වන ප්‍රතිචාරය, කෘතියේ එන නගරයට සේන්දු වූ මිනිසුන්ට වඩා මානුෂිකය.මෙය නූතන සමාජයේ තාක්ෂනය පරිහරණය කරමින් වර්ගවාදයට ගමන් කරනා සමාජයට පාඩමක් වැනිය.

මිනිස්සු හැම කොට්ටාසෙට ඇයි බැරි අර කුඹුක් ගස් පෙළ වගේ එකට ගෑවි ගෑවි සංතොසයෙන් ඉන්න. මනුස්සෙකුට කරදරයක් කොරනව තියා කූඹියෙක්වත් පාගන්න තරම නාකයි…” (පිට 136)

 

මාණිකාවත සමාජයේ ඔඩු දුවා තිබූ මිථ්‍යා විශ්වාශ හේතුවෙන් සමාජයේ මිනිසුන්ට විදින්නට වූ අනේක දුක්ඛ සමුදායන් ඉදිරිපත් කොට ඇත්තේ එම මිථ්‍යා විශ්වාශ හේතුවෙන් දුක් විදි මිනිසුන්ට සාධාර්ණය ඉටු කරමිනි.ඒ ඒවා සථ්‍ය අතර ඇති දුර  කොතරම් දැයි කෘතිය තුලින්ම දක්වමිනි. පිච්චිගේ සේම කෘතියේ අවසාන භාගයේ එන්ම සෙනෙහෙලතාගේ චරිතය ඊට සාක්ෂි දක්වනවා ඇත.

පරිසරය සහ මනුෂ්‍ය ජීවිතය අතර සම්බන්ධය මෙම කෘතිය පුරාම පාඨකයා වෙත විදාරණය කරනු ලබන ආකරය සිත් ගන්වන සුළුය. නමුත් බොහෝ පාඨකයන් හට එම තත්වය පරිකල්පනය කර ගත නොහැක්කේ වර්ථමානයේ එය යථාර්ථයක් නොවන නිසාවෙනි. මන්ද වර්තමානයේ පරිසරය සහ මිනිසා අතර  එවැනි සහසම්බන්ධයක් ඇත්තේම නොමැති තරම් නිසාය. කෘතියේ එන සුළග සහ බැදි මනුෂ්‍ය ජීවිතය හමා යන්නේ එම මිනිසුන් විදි ජීවන සුවය පාඨකයා වෙතද හමමිනි.

“වරෙං වරෙං සුළංනේ…..

සුළං සුළං වරෙන්නේ….

අපිව බලා යන්න වරෙන්නේ…

ඉපනැල්ලේ වරෙන්නේ…..

අමුණ ලගින්න් වරෙන්නේ….”

(පිට 104)

ඒකාකාරී ඉතිහාස කතා රැල්ලෙන් හෙම්බත් වී ඇති පාඨකයාට මාණික්කාවත ඉතිහාසයේ වෙනස්ම මානයක් ගෙන දෙන කෘතියක් බවට අවිවාදයක් තිබිය නොහැක.කෘතිය අවසාන භාගය වෙත එන විට අනවශ්‍ය කලබලයකින් එය අවසන් කිරීමට කතුවරයා යොමු වී ඇති බවක් පෙනී යාම යම් පමණකට කෘතියේ රසවින්දනයට බධාවක් වන බවද නොදක්වා බැරිය.

17/02/2016

Advertisements

One thought on “ඉතිහාසයට නව මානයක් – මාණික්කාවත

  1. සෙංකොට්ටන් අනගි නවකතාවක්, එහි තිබුණු ලොකුම වරද තමයි පොඩිනාව මරා දැමුණු තැනින් කතාව අවසන් නොකොට සුඛාන්තයක් සහ වීරයෙකු හදන්නට දෝ ඉදිරියට ගෙන යාම.

    පසුගිය දිනක ලංකාවේ දී මට කතුවරයා අහම්බෙන් මුණ ගැසුණු විට මා ඒ බව ඔහුට කීවා.

    මාණික්කාවත පිටපතක් ලංකාවේ සිට ගෙන ආවද තවමක් කියවීමට කාලයක් ලැබුණේ නෑ.

    මේ විචාරයට ස්තුතියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s