”චේ කෝ…” සහ තවත් කතා – පශ්චාත් යුද සමාජය කෙටි කතාව තුලට

Che Ko Saha Thawath Katha Anurasiri Hettige -Review

“චේ කෝ සහ තවත් කතා” අනුරසිරි හෙට්ටිගේ මහතාගේ දෙවන කෙටි කතා සංග්‍රහයයි.වර්තමානයේ ජීවත් වන මිනිසා කතුවරයා හදුන්වා දෙනු ලබනුයේ ඉතා අපුරූ ආකාරයකටය.”මගේ යුගයේ මා සමග වෙසෙන්නේ පශ්චාත් යුද ජයග්‍රහණයේ මිනිසෙකි;පෙර නොවූ විරූ වැනිය;ඔහු තමන්ගේ ජානගත අපේක්ශාවක ජයග්‍රහනයක් සාක්ෂාත් කරගත්තෙකි. ඔහු තව දුරටත් සමාජයේ කටයුතු පාලනය  කරන්නෙක් නොවේ;ස්ථාපිත යමක් රකින බහිරවයකු වැනිය;ඇස් පෙනුනද නොපෙනෙන්කි;සවන් තිබුනද බිහිරෙකි;සමාජ ඉතිහාසය ගැනත් එහි ස්වභාවය ගැනත් හොදින් දනිතත් දේශානුරාගී නාමධාරී සෑම සියලු ක්‍රියාරකමක්ම අවිචාරයෙන් අදහන්නෙකි;ජාතිය පිළිබද විකල් අභිමානයක් දරන්නෙකි” (පෙරවදන පිට xiii/ ivx) මෙම සුවිශේෂි පුද්ගලයාගේ චර්යා රටා කෙටි කතා සංග්‍රහය තුලින් ඔහු මැනවින් ඉස්මතු කොට දක්වයි.පශ්චාත් යුදවාදී සමාජයේ මිනිසා අවසානයේ ගමන් කරමින් සිටින්නේ කොතැනටද යන්න කතුවරයා තම කෙටි කතා හත ඇසුරින් ඉතා වියුක්තව දක්වා සිටී.මෙරට නවකතාව අද වන විට ප්‍රබල මාධ්‍යක් වුවද මෙම කෙටි කතා සංග්‍රහය තුල පාඨක සිත් සතන් තම කතා තුලම රදවා ගැනීමට කතුවරයා දක්වන්නා වූ සුවිශේෂි බව විශිෂ්ඨය.

මෙහි එන කෙටි කතා අතර මා දකිනා සුවිශේෂිම කතාව වන්නේ “ගැහැනු ලමයාගේ” දවස කතාවය.අනාගතයේ සිට අතීතය දක්වා තම කෙටි කතාව විහිදුවමින් කතුවරයා ශ්‍රි ලාංකික සමාජයේ සුවිශේෂි පැතිකඩක් වන ඇගලුම් කර්මාන්තයේ සේවයේ යෙදෙන ස්ත්‍රින් ගේ ජීවිතයේ යතාර්ථය පාඨකයා අඹිමුවෙහි තබන ආකාරය ඉතා අලංකාරය. එම යුවතිය රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයා අතර අතිවන ලිපි සංවාදය එම යුවතියගේ සිතුවිලි හදුනා ගැනීමට කියවන්න වෙත කරනා ආරාධනයක් වැනිය.අවසානයේ ඇයගේ ප්‍රතිචාරය තරමක් රළු වුවද එය ඉතා යථාර්තවාදීය. මන්ද බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ගැටලු හදුනා ගන්නා නමුත් ඊට විසදුම් දීමෙහි නොහැකියාව මහ පොලවේ යථාර්තය වන බැවිනි.
“අපිට පිහිට වෙන්නයි කියල මෙහෙ කන්තෝරු අටව ගෙන හිටියට ඔගොල්ලන්ට කරන්න පුළුවන් කෙහෙල්මලක් නෑ.දවස ගානෙ ම අපේ කෙල්ලෝ පිරිමින්ගේ කාලකන්නි ආශාවන් පස්සේ වැටිලා අතරමන් වෙනවා.ඒත් මට බෑ මගෙ ජීවිතේ එහෙම අයාලේ විනාශ වෙන්න ඉඩ හරින්න.මේක මගේ ජීවිතේ.මං මගේ ආශාව මත්තේ හැපිලා මැරෙනව.මං මගේ තරුණකමට වටිනාකමක් හොයනවා. ඒක මට කවද හරි හම්බ වේවි.”(පිට 44)
අවසානයේ ඇයට ඇය සෙවු වටිනා කම ලැබේවිද?

13+ කතාව තුල තේමාව වන්නේ වර්ථමාන දේශපාලනයේ විපරීත භාවයයි. වර්තමානයේ දේශපාලකයා මහජනතාව ඉදිරියේ අනෙක විද තර්ක විතර්ක ඉදිරිපත් කලද ඔවුන්ගේ ඇතුලාන්ත ජීවිතයේ එන විපරීත බව මෙහි දක්වා ඇති ආකරය ඉතා රසවත්ය. තවද ඒ සදහා ඔහු යොදා ගන්නේ 13 ව්‍යවස්ථාව අරබයා ඇති වූ සංවාදාත්මක තත්වයයි. එම සංවදාත්මක තත්වය පසුබිමෙහි තබා දෙශපාලනයේ විපරීත බව ඉදිරිපත් කර ඇති ආකාරය ඉතා විශිෂ්ඨය.
“-දහතුන ඉවත් කරන තුරු අපි දිවි හිමියෙන් සටන් කරනවා.. ඇමති කියයි –
පත්තරය බලමින් සිටි පොඩි මල්ලිගේ මූණෙ ඇදුනේ උපහාසාත්මක සිනාවක්. අම්මපා මුංට නං පිස්සු. තර්ටීන්! දහතුන! හැබෑට ඒකිට දහතුන පැන්නා විතරයි වෙන්න ඇති. තර්ටීන් ප්ලස්! ෂා දහතුන.” (පිට 60)

අපරාධකරුවකුගේ පාපොච්චාරණය තුල වාමාංශික දෙශපාලනයේ එක් පරිච්චේදයක කතාව කතුවරයා එහි කේඩරයකු තමන්ගේම ඇතුලාන්ත සිතත් සමග කරනා පාපොච්චාරනයක් ලෙස ඉදිරිපත් කිරීමේදී ඒ සදහා යොදා ගන්නා රූපක ඉතා අලංකාරය.සැමට සමානත්මතාවය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් වූ එම ව්‍යාපාර අවසානයේ නතර වූයේ කොතැනද යන්න අද අපට ඇති ගැටළුවයි.සකල දේශ වාසී නිර්ධනයනි යන පාඨය තුලට තම රටෙහිම පීඩනයට ලක් වූ ජාතියකගේ අදෝනාව මගහැරීමම කවර නම් උත්ප්‍රාසයක්ද? එය එසේ වුවත් එහි කේඩරයාට පවා අවසානයේ අත් වූ ඉරනම කෙබදුද? නායකත්වය දක්වා ගෙන යන දුර ඔහේ ගොස් අවසානයේ හඩා වැලපීම උරුම කර ගන්නට සිදු වීමම අප නැවත හැරී බැලිය යුතු තත්වයකි.
“දේශප්‍රේමය එහි ස්වභාවයෙන්ම ජාතීන් අතර බෙදීමක් සලකුනු කරනවා නේද? එත් මේ මිනිහා කියන්නේ වෙනත් කතාවක් “ඇත්ත..දේශප්‍රේමය ජාත්‍යන්තරවාදය කරා යාමේ මගයි කියලත් සහෝදරයා අහල නැද්ද… මේ වෙලාවේ අපිට ඒ මග තෝර ගන්න වෙනවා… ඒක සමාජවාදයට යන අපේ මාවත එළි -පෙහළි කිරීමක් වේවි.. කියලා මිනිහා මගේ හිත සන්සුන් කළා.”(පිට 67)

නිර්ධන පන්ති ව්‍යාපරයේ සුරුවමක් බදු මහා වීරයකු වන “අර්නස්ටො චේ ගුවේරා” සංකේතය අද ඇත්තේ කොතැනද?අද වන විට එම සංකේතය ඔහු විසින්ම අරගල කරන්නට යෙදුනු ධනේශවරයේම තවත් එක් සන්නම් නාමයක් (brand) බවට පත්ව තිබීම කවර නම් ඛේදවාචකයක්ද? ශ්‍රි ලංකාව තුල පවා ඔහුගේ සන්නාම ඡායාරූපය ත්‍රි රෝද රථයේ සිට අවන්හල් දක්වාම අලෙවි වීම දැක ගත හැකිය. මෙහි එන චේ කෝ නම් කතවේ බොහෝ තැන් වල එන “චේ ඔබ කොහිද ?, එහෙනම් චේ කෝ,එතකොට චේ කෝ ලෙස විවිධ ස්ථාන වලදී සැබවින්ම චේ කොහෙද යන්න පාඨකයා ගෙන් ප්‍රශ්න කර දක්වා සිටී. මේ සදහා ඔහු යොදා ගන්නා පුද්ගල චරිතයේ නමද ඉතා සුවිශේෂි වේ.”කීර්ති විජයබාහු” නම් එම නම අද සමාජයේ බොහෝ දෙනා නොහදුනනා නමුත් ඔහුගේ පරපුරට නම් එය අමතක නොවනවාට සැකයක් නැත.ශුද්ධ වූ සියල්ල වැනසෙන බව කාල් මාර්ක්ස් කීවේ  මීට බොහෝ අතිතයේදීය. එය කොතරම් දුරට යතාර්ථයක් ද යන්න මෙම චේ කෝ නම් කෙටි කතාව තුලින් අප හට අත් දැකිය හැකිය.

ඒ හා සමානම තවත් කතාවක් වන්නේ සිංහ විලා නම් වූ කතාවය. මේ කතාව ඔස්සේ කතුවරයා ධනෙශ්වරයේ සමාජ ව්‍යපර්යාසය මැනවින් ඉස්මතු කොට දක්වයි.සාම්ප්‍රදායක රදළ පවුලක වර්තමාන පුරුක තම දිවි පෙවෙත ගෙන යන ආකාරය එහි පැරණි වාසින් හට අපුලක් වුවද මේ යුගයේ ජීවත් වන්නවුන්ගේ තේමා පාඨය වන්නේ “බල්ලො මරලා හරි සල්ලි හොයන්න” යන්න යථාර්තයයි. සිංහ විලා අවසානයේ සුනඛ විලා වන අයුරු ඉතා රසවත් ලෙස ඉදිරිපත් කරනා කතුවරයා මේ දුර්දාන්ත ක්‍රමය දෙස නැවතත් හැරී බලන ලෙස පාඨකයාගෙන් ඉල්ලා සිටී.නැති නම් සිංහ සෙයියාවෙන් කටමැත දෙඩවුවද බලු වී ජීවත් වීමට සිදු වන බව නම් වැලැක්විය හැකි යථාර්තයකි. එය අප හට නොපෙනෙන්නේ අපගේම මුග්ධ බාවය මිස අන් කිසිවක් නිසා නොවේ.
“මං හිතා හිටියේ පුතාව දිසාපති කෙනෙක් කරන්න.. අපේ පුතා සල්ලි හම්බ කරන්න මොනව ද නොකරන්නේ හාමිනේ… මාළු පැටව් විකුණනවා… ඇයි මල්… ඉඩකඩම් විකුණනවා.. වාහන විකුණනවා… අර බල්ලො දෙන්නා පට්ටි දාලා හම්බ කරනව….මොකටද හාමිනේ…(පිට 111)

ඉතා රසවත් විවිධ වූ රසවත් තේමා වලින් යුතු මෙ කෙටි කතා හත තුල එක් සුවිශේෂි ලක්ෂණයක් වේ. එනම් අප ජීවත් වන පශ්චාත් යුද සමාජයේ මිනිසාගේ ජීවිතය කතුවරයා කතා ගත කොට ඇති ආකාරයයි. මෙය සැබවින්ම අප ජීවත් වන මේ සමාජය නොවේදැයි විවෘත මනසකින් සමාජය දෙස බලනා කා හට වුවත් වැටහෙන නමුත් බහුතරයකට එය නොදැනෙන්නේද මේ ක්‍රමයේ වරදින්මද?, අප නැවත අප තුලටම හැරී බලමු.

කසුන් ප්‍රනාන්දු.
27/09/2014
Photo : Boondi.lk