ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය -පොතක් ගැන

 

 DSC_0357

ජීවිතය තිබෙන්නේ ජීවත්වීමටය.ශ්‍රි ලාංකික සමාජයේ ජීවත් වන මිනිසා හුදෙක්ම ජීවත් වන්නේ දහසකුත් එකක් ප්‍රශ්න හා ගැටෙමින් ජීවිතය විඳවමිනි.මෙයට මූලිකම හේතුව වූයේ අප අද ජීවත් වන සමාජය වෙත අප පසු කරමින් පැමිනියේ එක දිගට දීර්ඝ කාලයක් පුරා පැවති ප්‍රච්ණ්ඩ සමාජ ක්‍රමයක් පසුකරමිනි.එකී සමාජය අපට උරුම කර දී තිබෙන්නේ ජීවිතය ජීවත් කරනවා වෙනුවට ජීවිතය විඳවමින් ජීවත් වීමටය. බොහෝ විට තම ජීවිතය විඳවීම තුල ඉන් පීඩා විදින්නේ තමා පමනක් නොව තම ජීවිතය හා බැදුනු වුන් හටද ජීවිතය විදවීමට සිදුවේ.දශක තුනකටත් අධික කාලයක් පුරා දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස කීර්තියට පත් වික්ටර් අයිවන් මහතාගේ “ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය” කෘතිය ජීවිතය දෙස නවමු දැක්මකින් බලන්නට පාඨකයා හුරුකරවන්නකි.මේ කෘතිය සඳහා පාදක වී ඇත්තේ මේ විශය අරඹයා ඔහු විසින් රාවය පුවත්පතට ලියන ලද ලිපි පෙළක් හරහා ඇති වූ සංවාදයයි.පරිච්ඡේද දහයකින් යුතු මෙම කෘතිය පරිශීලනය කරන්නාට ජීවිතයේ හමුවන විවිධ ප්‍රශ්න වලදී වඩා හොදින් ඊට මුහුන දිය යුතු අයුරු විග්‍රහ කරවන්නකි.කතුවරයා ඒ සදහා පාදක කරගනුයේ ඔහුගේ ජීවිත අත්දැකීම් මෙන්ම ලොව ජීවත් වූ සුවිශේෂි පුද්ගලයන් ඊට දක්වන ලද ප්‍රතිචාර ආශ්‍රය කරගනිමිනි.

මෙහි පලමු පරිච්ඡේද කීපය හරහා ඔහු උත්සහ කරනු ලබන්නේ යුග දිවිය ආශ්‍රයෙන් ඇතිවන ගැටළු වලදී පුද්ගලයන් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න විග්‍රහ කිරීමටය.මෙහිදී ඔහු ජීව විද්‍යාත්මක කරුණු මෙන්ම ප්‍රායෝගික තලයේ ඇතිවන කරුණු පවා විග්‍රහ කොට ඇත.අඹු සැමියන් අතර විශ්වාශය ඇති කර ගැනීම නැන්දම්මා ලේලි ගැටුම් වලදී මුහුන දිය යුතු ආකාරය, එමෙන්ම මෙහි සුවිශේෂි තත්වය වන්නේ දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ගොඩනැගීම වැනි අතිශය සංකීර්ණ ප්‍රශ්න පවා ඉතා සරල ලෙස විග්‍රහ කර තිබීමය. මේ කෘතිය පුරාම දැකිය හැකි තවත් සුවිශේෂි ලක්ෂනයක් වන්නේ ජීවිතයේ එන ප්‍රශ්න හමුවේ බුද්ධියට මුල් තැන් දී නොපෙනෙන බලවේග වෙත ගොස් ප්‍රශ්න වැඩි වර්ධනය වන තත්වයන් වලක්වාලීමය.මන්දයත් බොහෝ ජීවිතය අරඹයා ලියන ලද කෘති කෙලවර වන්නේ මිනිසා තව දුරටත් නොපෙනෙන බලවේග වල ගොදුරු බවට පත් කිරීමය.විශේෂයෙන්ම කුඩ කල සිට දරුවන්ගේ ලෝකයට වර්ගවාදී, ආගම්වාදී පටු සීමාවන් ඉවත් කර සෑම පුද්ගලයෙක්ම සමාන මනුෂයන් ලෙස සැලකිය යුතු ආකාරය ඉතා වියුක්තව දක්වා තිබේ.

මෙහි මා වඩා සිත් ගත් පරිච්ඡේදය වූයේ “ජීවිතයට වීරයකු අවශ්‍යද?” යන කොටසටය.එම පරිච්ඡේදය තුලින් අයිවන් මහතා බොහෝ පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඔවුන්ගේ වීරයන් හරහා අපට විග්‍රහ කර දන්වයි. ඔහුම දක්වා ඇති ආකරයට  “කෙනෙකුට පරමාදර්ශී වීරයකු සිටින විට ඒ වීරයා ඔහුගේ ජීවිතය කෙරෙහි බලපායි.තමන්ගේ පරමාදර්ශී වීරයාගේ ජීවිතය අනුගමනය කිරීමට අනුගාමිකයා කැමතිය.අනුගාමිකයාගේ පුරුෂාර්ථ කෙරෙහි වීරයා බලපායි.” (පිට 74) එමෙන්ම ඔහු පරමාදර්ශී වීරයන් වන්දනාමාන කරනා තත්වයට යා නොයුතු බවද දන්වා සිටී.මන්දයත් සියලු පරමාදර්ශී වීරයන් මනුෂ්‍යයන් වන බැවින් ඔවුන්ගේ අඩු පාඩු ඇති බව වටහා ගත යුතු නිසාය.මෙම කොටසේ තවත් සුවිශේෂිත්වයක් වන්නේ ලාංකීය සමාජය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ පුද්ගලයන් දෙදෙනා වන විජේවීර සහ ප්‍රභාකරන් යන දෙදෙනා වීරවරයන් ලෙස සැලකූ සමාජ තීරුවට අත් වූ ඉරණමද ඉතා වියුක්ත ලෙස දක්වා ඇත.

මෙම කෘතිය තවත් සුවිශේෂි කොටසක් වන්නේ “801 වැනි මිනිසා” පරිච්ඡේදයයි. එහිදී කතුවරයා වර්තමානයේ ජීවත් වන මිනිසාට ඇතිවන අභියෝග හා විශේෂයෙන්ම නව ගෝලීය සන්දර්භය හමුවේ පුද්ගලයා හුදු දූපත් මානසිකත්වයෙන් මිදී ගෝලීය පුද්ගලයෙකු ලෙස දිවි ගෙවිය යුතු බව දක්වා සිටී. මෙහිදී අනුඡේද යටතේ මිත්‍යා විශ්වාශ, ආගම,මනුශ්‍ය වර්ගයා,ලංකා ඉතිහාසය හා යටත් විජිතවාදය, ආහාර සම්ප්‍රදායන් හා නව ලෝක රටාව යන තේමා යටතේ 801 වැනි මිනිසා තම ජීවිතය පවත්වා ගත යුතු ආකාරය දක්වා තිබේ. 

පවුල් ආරවුල් හා දරුවන් දීග දීම යන කොටස් දෙක මෙම කෘතිය වර්ණවත් වීමෙහිලා බලපානා කොටස් දෙකකි.පවුල් ආරවුල් හරියාකාරයෙන් කලමනාකරණය කර ගත නොහැකි වීමෙන් මහා ඛෙදවාඡකයන්ට මිනිසුන් හට මුහුණ දීමට සිදුවන අයුරු මින් උදාහරණ සහිතව දක්වා තිබේ.එමෙන්ම මෙම පරිච්ඡේදය තුල ලොව විශිෂ්ඨතම විද්‍යාඤයා ලෙස සැලකෙන අයිසැක් නිව්ටන් හට තම දෙමාපියන්ගේ පවුල් ජීවිතයේ අර්බුද නිසා ඇති වූ කම්පනය හෙතු කොට ගෙන බ්‍රහ්මචාරියෙකු ලෙස මුලු ජීවිතයම ගත කල ආකරය උදාහරණ ලෙස දක්වා තිබේ. එමෙන්ම පවුල් ආරවුල් සදහා උදාහරණ ලෙස මහා ගත්කරු ලියො ටොල්ස්ටොයි ගේ “ඇනා කැරනිනා” නවකතාව සාරාංශ කොට දක්වා ඇති ආකාරය ඉතා රසවත්ය.එමෙන්ම මෙහි දරුවන් දීග දීම පිලිබද ඉතා වැදගත් ලිපියක් ඇතුලත්ය. ජීවිතයේ නිසි වයසට කල යුතු දෑ කල් තැබීමෙන් මනුෂ්‍ය ජීවිතය අර්බුදයට යන අයුරු මෙන්ම ජොතිෂ්‍ය වැනි මිත්‍යා විශ්වාශ හේතු කොට ගෙන බොහෝ දෙනෙක්ගේ ජීවිත අවුල් කල ඇති ආකාරය වික්ටර් අයිවන් මහතා විශිෂ්ඨ ලෙස දක්වා ඇත.මෙහි “මිනිසුන් ගේ ඉරණම ග්‍රහතාරකා වලට බැද තැබු ජොතිෂ්‍යට තිබු පිලිගැනීම නැති භංග කිරීම ආරම්භ කලේ එක විට ජොතිෂ්‍ය ශ්‍රාස්ත්‍රර්තයෙක් වූද විද්යාඤයෙක් වූද කොපර්නික්ස් විසිනි”.(පිට 143). නමුත් කණගාටුවට කරුණ වන්නේ අද වන විට අප ගමන් කරමින් තිබෙන්නේ කොතැනකටද යන්නය.

කෘතියේ අවසාන භාගය පුරාම ඔහු අවධානය යොමු කොට ඇත්තේ වියපත් වීම හා මරණයේ අසිරිය වෙතය. විශ්‍රාම ගැනීමෙන් පසු මරණය දක්වා කාලය මිනිසකු කලමනා කල යුත්තේ ඇයිද යන්න මෙම පරිච්ඡෙද දෙක තුලින් කතුවරයා මනාව දක්වා ඇත.වයස  කොපමණ වුවත් අලුත් දෙයක් ඉගෙන ගැනීමට වයස බාධාවක් නොවන වග ලොව ප්‍රකට උදාහරණ ගෙන හැර දක්වමින් ඔහු විස්තර කර ඇති ආකරය ඉතා විශිෂ්ඨය.එමෙන්ම විශ්‍රාම ‍යාමෙන් පසු ආර්ථිකය කලමනාකරණය කර ගත යුත්තේ කෙසේද හා එසේ නොවීමෙන් ජීවිතය අර්බුදයට යන ආකාරය කතුවරයා ඉතා දක්ෂ ලෙස පෙන්වා දී ඇත.අසිරිමත් මරණය කොටස මෙම කෘතියේ විචිත්‍රත්වය ත්‍රීව කරන්නකි.මරණය තේරූම් ගෙන ඊට මුහුණ දිය යුතු ආකාරය ඉතා සරල ලෙසත් ලොව ප්‍රකට ශ්‍රේෂඨ මරණ උදාහරණ කර ගනිමින් කතුවරයා විස්තර කර තිබේ. තවද වයස්ගත වීම හෙතුවෙන් අන්දානුභාවයෙන් ආගමික විශ්වාශයන් පසුපස යාමේ ආදීනව කතුවරයා ඉතාමත් විශිෂ්ඨ ලෙස දක්වා ඇත. මරණය පිලිබද ග්‍රීක දාර්ශනික එපිකියුරස් ගේ ශ්‍රේෂඨ කියමනක් මෙසේය.”මරණය වනාහි මට වැදගත් දෙයක් නොවේ.මන්ද මා ජීවත්ව සිටින විට මරණයක් නැත.මරණය ආ විට මා ජීවත් වන්නේ ද නැත.”

ජීවිතය ජීවත් කරවීමට හරසුන් දේ කරමින් ජීවිතය ආපයක් කරගන්නවා වෙනුවට ජීවිතය වඩාත් යහපත් ලෙස ගෙවා දැමීමට පාඨකයා උනන්දු කරවන මෙම කෘතිය වික්ටර් අයිවන් මහතාගේ පරිනත භාවයට හොදම සාක්ෂියකි.

කසුන් ප්‍රනාන්දු.
31/08/2014