කවුද ඒක හොරකම් කරලා

බොහෝ දෙනෙකුට අනුව මේ වකවානුව 1948 නිදහසින් පසු මෙරට බිහි වූ ස්වර්ණමය යුගයයි. එහෙත් බැලූ බැල්මට පෙනෙන පරිදි රෙජීමය හා ඊට අනුබද්ධ මාධ්‍යයනුත්, බුද්ධිමතුන් යැයි සමාජය හඳුනා ගන්නා පිරිසත් පැහැදිලි කරන්නා වූ මේ අපූර්ව යුගය පිළිබඳව අපව දවටා ඇති තිරයෙන් පසුපස ඇති අශ්ලීල සත්‍යය මහජනයා වෙත තේරුම් කර දීමේ ගැටලුව අද වන විට සියලු විපක්ෂ ක්‍රියාකාරීන්ගේ ද වාමාංශිකයන්ගේ ද සිවිල් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන්ගේ ද ප්‍රධාන උභයතෝටික ගැටලුව වනවා නොඅනුමානය.
අද සමාජය එදා සමාජයට වඩා දියුණු යැයි භෞතිකව සිතීමෙන් ඔබට වැටහෙනු ඇත. එහෙත් සාමාජයීයව අප සිටින්නේ සැබෑ දියුණුවක් ලබා ගෙන ඇති තත්ත්වයකද එසේත් නොමැතිනම් පසුගාමීත්වය කරා යන්නා වූ ගමනකද? උදාහරණයක් ලෙස ගතහොත් ලෝකය තුළ අද වන විට ආගම ඇත්තේ හුදෙක්ම විවේචනාත්මක පසුබිමකය. එනම් ඓතිහාසිකව හා අන්තගාමී විශ්වාසයන් මත හුදෙක්ම පූජනීය තත්ත්වයකින් පිදුම් ලැබූ ආගමික ව්‍යාපාරයන් මිනිස් සමාජයේ යහපැවැත්ම සඳහා සත්‍ය ලෙසම උපකාරී වූයේද-වන්නේද, එසේත් නොමැති නම් එය සමාජය තවදුරටත් ඛණ්ඩනය කරන රේඛාවන් නිර්මාණය කරමින් පවතින්නක්ද යන්න සලකා බැලෙන විවාදාත්මක වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුද යන්න බැලීම කාලෝචිතය.
මෙරට ජීවත්වන්නන්ගෙන් බහුතරය සිංහල බෞද්ධ වන අතර ඒ සිංහල බෞද්ධයාට අද අවශ්‍ය වන්නේ අවිහිංසාව හා මනස ප්‍රමුඛ කොටගෙන ගොඩනැගුණු උසස් බෞද්ධ දර්ශනයකට ළඟා වීමකට වඩා තලේබාන් පන්නයේ මැර දහමකට පණ දීමක් යැයි කිව හොත් මා නිවැරදිය. මේ සඳහා උදාහරණ ගැන සමාජ වෙබ් අඩවි (ෆේස්බුක්, ට්විටර්) තුළ ගැවසෙන අයට නම් අමුතුවෙන් අටුවා ටීකා පැවසීම අවශ්‍ය නොවේ. මෙම ව්‍යාපාර පවතින්නේ හුදෙක්ම නීතියේ අනුමැතිය ඇතිව බව සිහි නුවණින් කල්පනා කරන්නෙකුට නම් වටහා ගැනීම අපහසු නොවනු ඇත. දෝෂාභියෝගයට විරුද්ධව පෙළ ගැහුණු ජනතා ව්‍යාපාරයට එල්ල වූ දැවන්ත මර්දනය මෙම නව පන්නයේ ත්‍රස්තවාදී ව්‍යාපාර වෙත යොමු නොවනවා මෙන්ම එය එම ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම පිණිස ක්‍රියාත්මක වන්නක් බව පොලීසියේ හා රජයේ හැසිරීමෙන් පෙනී යාමම ඒ බව පසක් කරයි.
අප තිස් වසරක් පුරා දැවැන්ත ජාතිවාදී යුද්ධයක පැටලී සිටි අවාසනාවන්ත ජාතියකි. ඒ මුළු කාලච්ඡේදය පුරාම සිංහලයාට අනෙකා හෙවත් තම විනෝදය හොරකම් කරන්නා ලෙස මුණ ගැහුණේ අන් කවරකුත් නොව ප්‍රභාකරන්ය. එනම් අප මුහුණ දී සිටි සකල මහා දුක් දෝමනස්සයන් හා අපේ ආතල් එක මංකොල්ල කෑවේ ප්‍රභාකරන්ය. 2009 මැයි මාසයේ අප රතිඤ්ඤා දල්වා කිරිබත් කා දමා සැමරුවේ අන් කිසිවක් නොව ඒ පොදු සතුරාගේ විනාශයේ ප්‍රීතියය.
ඉන් පසු සිදු වූයේ කුමක්ද? ඉන් පසු සිංහලයා පැතූ සමාජය උදා වූවාද? නැත. අද වන විට අප කරවටක් ණය උගුලේ ගිලී සුපිරි චීන සමාජවාදයේ හිරකරුවකු වීමට ආසන්නව සිටින අතර ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වන ප්‍රශ්න හමුවේ ආත්ම හතකට හෝ දිරවා ගත නොහැකි ආකාරයට ලැජ්ජා සහගත ලෙස බොරු බේගල් ඇද බාමින් සිටිමු. අපේ පාලකයින් සිය පැවැත්ම නැත්නම් ජනප්‍රියතාව පවත්වා ගැනීම උදෙසාත්, සමාජය නඩත්තු කිරීම සඳහාත් මේ බොරු ඇද බාන්නේ පිටරටවලට පමණක් නොව සිය ජනතාවටද හැම මොහොතකම එන්නත් කරන්නේ බොරුවමය.
මෙය බොහෝ දෙනෙක් නොදන්නේම නොවේ. එහෙත් මිනිසුන් සිතනුයේ මේ අපගේ උරුමය හෝ කරුමය කියාය. එනිසා සිය කටුක ජීවිතයට නව අරුතක් සපයා ගනු වස් ඔවුන් සමාජය තුළින් තවත් සතුරකු නිර්මාණය කර ගැනීමේ පිපාසයෙන් පෙළෙන අතර රෙජීමය සිය බලය තහවුරු කර ගනු වස් කලින් කලට සමාජය වෙත බිල්ලන් මුදා හරිති. වෙනත් විදිහකින් කිවහොත් මේ දෙගොල්ලොම ප්‍රභාකරන් වෙනුවට නව ආදේශකයක් සොයමින් සිටිති. මේ මොහොතේ ඒ සඳහා ඔවුන්ට මුණ ගැසෙන හොඳම අනෙකා අන් කවරකුත් නොව මුස්ලිම් ජාතියයි. එයට අවශ්‍ය කහ සිවුරේ බලය මෙන්ම රාජ්‍ය අනුග්‍රහයද මේ වන විට නොඅඩුව ලැබෙමින් පවතී. තත්ත්වය එසේ නම් පැහැදිලිවම කිව හැක්කේ ජාතියක් වශයෙන් හෝ රටක් වශයෙන් හෝ මේ භවයේදී නම් අපට ගොඩයාගත නොහැකි බවය∎
කසුන් ප්‍රනාන්දු
http://www.samabima.com/?p=6148

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s