රතු ඉරි අඳින අත | ලියනගේ අමරකීර්ති | 2019
“රතු ඉරි අඳින අත” නම් වූ කෙටි නවකතාව ඇතුලේ අප ජීවත් වන සමාජ දේහයම තුලම පවතින ව්‍යාජත්වය පුපුරවාලීමට ලියනගේ අමරකීර්ති සමත් වී සිටිනවා. කියවන්නාට පහසුවෙන් කියවා අවසන් කල හැකි වුවත් නමුත් ඉතා සංයමයෙන් කියවා ගත යුතු නූතන සමාජ දේශපාලන කියවීම් ගණනාවකින් මේ නවකතාව සමන්විතය. අද අප ජීවත්වන සමාජය තුල වඩ වඩාත් උත්කර්ශයට නංවන අපේකම, සංස්කෘතිය හා දේශ්ප්‍රේමය වගේ දේවල් ඇත්තෙන්ම පවතින යථාර්ථයක් ද එසේත් නොවන්නේනම් එය මේ සමාජ ක්‍රමය හසුරුවන බලවේග විසින් නිර්මාණය කරන ලද්දක්ද යන්න වටහා ගන්නට මේ කෘතිය කියවන්නාට මග පෙන්වීමක් සපයා තිබේ.
පූර්ණ සිංහලබෞද්ධ සමාජ ක්‍රමයක් වෙනුවෙන් ක්‍රියාත්මක බලවේග නොදන්නා සත්‍යක් වන්නේ එකී සමාජ ක්‍රමයක් අප සමාජයේ කවරදාවකවත් පැවති තත්වයක් නොවන බවය. මෙරට කුල අර්බුදය එලිපිට කතිකා නොකලද නිශ්චිත අවස්ථාවන් වලදී එය මතුපිටට පැමිණෙන ආකාරය ඉරිදා ජාතික පුවත්පත් වල නම් වෙනස් කිරීම තුලින් පවා නිරීක්ෂණය කල හැකිය. මේ තත්වය උපහාසාත්මක ලෙස තම නවකතා තුල ඇතුලත් කිරීමට අමරකීර්ති සෑම විටම අමතක කරන්නේ නෑ. කුරුලු හදවත තුල දිනසිරි නම වෙනස් කර ගැනීම හෙලාදකින භික්ශූව වෙත දිනසිරිගේ විඥානය ඇතුලෙන් ඔහු ඇල්බට් පෙරේරා අමරදේව බවට රූපාන්තරය වීම ගෙන හැර පෑම මෙන්ම මෙම නවකතාව තුල සුමිත් ගේ මිතුරා ප්‍රනාන්දු බවට කරන ප්‍රකාශය හා බිරිද විසින් ඊට ලබා දෙන පිලිතුර හා ඔහු එය සිංහලබෞද්ධ ජාතිකවාදීන්ගේ ජාතික ගීයක් බඳු සසර වසන තුරු ගීතයේ රචක ඩෝල්ටන් සිල්වා වෙත සම්බන්ධ කොට ඇති ආකාරය උත්ප්රාසජනකය.
” අනික ඔය වාසගමට දාගෙන තියෙන නමත් තමුසෙලාගේ නෙවෙයිනේ” හාමුදුරුවෝ වදාරන බව ඔහුට සහතිකයි. එවිට දිනසිරිට කියන්ඩ ඉතුරු වෙන්නේ ” එහෙයි එහෙයි” කියන එක විතරයි. ” එතකොට ඇල්බට් පෙරේරා අමරදේව උනේ” කියල දිනසිරි අහන්නේ ඔහුගේ හිතේ වැඩ වසන හාමුදුරු කෙනෙකුගෙන් විතරයි (පිටුව 45/46 | කුරුලු හදවත)
” මේ දේශාභිමානී ගීතය සිංහල දේශාභිමානී ගී අඹරේ සුදිලෙනවා අමරද්ව – ඩෝල්ටන් සුසංයෝගයේ අග්‍රඵලය සේ. මහාචාර්ය සරච්චන්ද්‍ර ඩෝල්ටන්ට කිව්වා නම් අපි ඔයාගේ නම අරුණදේව කරමු කියල, අමරදේවයන්ට කළා වගේ, එ සුසංයෝගය අමරදේව – අරුණදේව සුසංයෝගය වෙන්න තිබුණා.” ( පිටුව 15 | රතු ඉරි අඳින අත )
මේ නවකතාවේ චරිතයක් වන මනසිකාර චරිතය හරහා ඔහු අප සමාජයේ ඇති සීමාන්තික ජාතිකවාදය හා ව්‍යාජයෙන් ගොඩනංවා ඇති ලෝකෙන්ම උතුම් සංස්කෘතිය ඔහු අභියෝගයට ලක් කරවනවා. නමුත් සමාජය ඇතුලේ ඔහුව හදුනාගන්නේ පිස්සකු ලෙසය. ඔහුගේ චරිතය පවා අපට සිහිගන්වන්නේ කුරුලු හදවතේ මුත්තු අත්තා චරිතයයි. වයසට යත්ම බොහෝ සමාජ ප්රගතිශීලීන් පවා මේ හීනමානී සංස්කෘතික වලිප්පුවෙන් පෙලෙන යුගයක ඔහු එහිදී මුත්තු අත්තා චරිතය ගොඩනගා ඇත්තේ මේ ව්‍යාජ සංස්කෘතියට හෙළිදරව් කරන්නකු ලෙසටය. මෙහිදී මනසිකාර ජපන් සෙන්සේගේ ජාතික ආලය උත්කර්ශයට නංවන ප්‍රකාශ ප්‍රශ්න කරමින් සටහන් තබන සමාජ මාධ්‍ය ප්‍රකාශ හා ඊට සමජය දක්වන ප්‍රතිචාර ඔස්සේ අප සමාජයේ ඇති සංස්කෘතික පරිහානිය මෙන්ම විශ්ව විද්‍යාල වල සිසුන්ගේ මෙන්ම අචාර්ය මහාචාර්ය වරුන්ගේද පටු චින්තනය විනිවිද දැකීමට ඉඩකඩ ලබා දේ.
” “ලංකාව වගේ රටක් කොහේවත් නෑ” යනුවෙන් සුරම්‍ය සන්ධ්‍යාවෙන් සෙන්සේ කී වැකියක් උපුටා දක්වූ මනසිකාර මෙසේ ලියා තිබිණි.”
” දණිහ වගේ අල්ලක් කොහේවත් නෑ” ” කූඹියෙක් වගේ අලියෙක් කොහේවත් නෑ” ” කොකිස් වගේ කොණ්ඩ කැවුම් කොහේවත් නෑ” (පිටුව 126)
“ලංකාව වගේ රටක් කොහෙවත් නෑ වගේ එව්වා ටෙලිවිශන්වලට එන කට්ටිය හරියට කියනව. ටී වී තියෙන්නෙම එව්ව කියන්ඩ. ඕක ඉතින් ඕනේ රටකට කිව්වැකිනේ. ලංකාව වගේ රටක් කොහෙවත් නැති හින්දා ඒ වෙනුවෙන් මිනීමරමු කියනෙකනේ කියවෙන්නේ කියල මට හිතුනා”
” මිනිස්සු ඔව්ව බලන්නේ සින්දු ටික අහන්නම නෙමේ අර විස ටික උරාගන්ඩ. නැත්තං දැනටමත් ඇතුලේ තියෙන විස ටික තව පැසව ගන්ඩ” (පිටුව 127/128)
මෙහි එන සෑම පරිච්ඡේදයක් පාසාම අප සමාජය ඇතුලේ තියෙන ව්‍යාජ ස්වරූපය කඩපතක් අල්ලනවා සේ අපට කියවන්නට ඉඩ සලසා තිබේ. මෙය ඉතා සීරූවෙන් සෙමෙන් කියවීම තුලින් අපට මේ සමාජය විසින් මහත් උජාරුවෙන් නඩත්තු කරන ව්‍යාජයන් හා මහා ඒවා පසුපස එන පනිවුඩ හදුනාගත හැකිවෙනවා. විශේෂයෙන් මේ ජනාධිපතිවරණය සමයේ ජඩමාධ්‍ය මෙන්ම විද්වතුන් ගේ කාර්යභාරය ඇතුලේ තියෙන ජඩ ස්වරූපය හොදින්ම අධ්යනහ කිරිමේ හැකියාවක් නිර්මාණය කර දී තියෙනවා.මේ නවකතාව ගැන ඉතා කෙටි නමුත් විශිෂ්ඨ වැකියක් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි තබා තිබුනා.
“සමස්ථයක් විදියට ‘රතු ඉරි අඳින අත’ කියැවූ කෙනෙකුගේ හිසේ දෙහි කටුවක් වගේ ඒ පොත ඇනෙනව. ඉන්පසුව කරන කියන හැම දෙයකදීම පාහේ ඒ පොත සිහිපත් වෙනවා
කසුන් ප්‍රනාන්දු | 08.10.2019